දරය කියන්නේ හරිම මෘදු හැඟීමක්. ආදරය ඇතුලෙදි අනිත් කෙනාට දැනෙන්නේ හරිම සහනයක්. ඒත් අද කාලෙ සිටින සමහර අය තමන්ගේ බිරිඳට රිදවලා කියනවා, ඒ රිදෙව්වේ ආදරේට කියලා. “බැන්නේ ආදරේ නිසා, ගැහුවේ ආදරේ නිසා” කියලා කියන මිනිස්සු ඔබට ජිවිතයේ එක් වරක් හෝ මුණ ගැහිලා ඇති. ඒත් අපිට තියෙන ගැටළුව ඇත්තටම ආදරය කරනවා නම්, අනිත් කෙනාට සිත් වේදනාවන් ලබා දෙන්න පුලුවන්ද යන්නයි. ඉතින් මේ විදිහට ආදරයේ නාමයෙන් අපේ අය තමන්ගේ බිරින්දෑවරුන්ට කරන අසාධාරණකම් ගැන myfamily.lk වෙබ් අඩවිය හරහා ලිපියක් ඉදිරිපත් කරන්න අද අපි තීරණය කළා.




  • ඇගේ රූපය වෙනස් කිරීමට උත්සාහ දැරීම

“ඔයා ආයේ කොටට සායවල් අඳින්න එපා. මම කැමති නෑ ඔයාගේ ලස්සන වෙන අය දකිනවට. මම ඔයාට ආදරෙයිනෙ.”

පිරිමියෙකු යම් කාන්තාවක් සමඟ ආදරයෙන් බැඳෙන්නේ ඇගේ පෙනුමට කැමති නිසයි. ඒත් විවාහයෙන් පසු සමහර පිරිමින් කාන්තාවගේ පෙනුම වෙනස් කිරීමට උත්සාහ දරනවා. අඳින ඇඳුම, කොණ්ඩය පීරිය යුතු ආකාරය ආදි දේවලට තහංචි දමනවා. ඔවුන් උත්සාහ කරන්නේ කාන්තාවගේ ආකර්ශණීය පෙනුම ඇයට අහිමි කිරීමටයි. දරුවන් ලැබීමෙන් පසු කාන්තාව මහත් වීම සාමාන්‍ය සිද්ධියක්. නමුත් බොහෝ සැමියන් එයටත් අකමැති වෙනවා.


  • ඇගේ විශ්වාසයන් වෙනස් කිරීමට උත්සාහ දැරීම

“ඔයා මට ආදරෙයි නම් ඔයාගේ ආගම අත අරින්න වෙනවා. එකම පවුල ඇතුලේ ආගම් දෙකක් අදහන්න ගියාම බෙදීම් ඇති වෙනවනේ.”

අප එකිනෙකාගේ විශ්වාසයන්, ඇදහීම් එකිනෙකාට වෙනස් වීමට ඉඩ තිබෙනවා. මෙම ගැටළුව බොහෝ විට පැන නඟින්නේ ආගම් දෙකක් හෝ ජාති දෙකක් අතර සිදු වන විවාහයකදීයි. විවාහයට පෙර ඇගේ විශ්වාසයන්ට එරෙහි නොවුවත්, විවාහයෙන් පසු ඇයට ඇයගේ ආගමික ස්ථානයකට යෑමටවත් ඉඩ නොදෙන සැමියන් ඉන්නවා. මේ තත්වය තවත් උග්‍ර වන්නේ විවාහක යුවල සැමියාගේ නිවසේ සිටින විටයි. සැමියා හා පවුලේ සාමාජිකයන් අලුතින් ආ ලේලියව තමන්ගේ ඇදහීම් සහ සිරිත් විරිත් වලට අනුව හැඩ ගස්වා ගන්නට වෙහෙසෙනවා. පුංචි කාලයේ ඉඳන් හුරු වුණු සිරිත් විරිත්, ඇදහීම් සහ විශ්වාසයන් එක වර වෙනස් කිරීමට සිදු වීම කෙතරම් අපහසුද? ආදරයේ නාමයෙන්, පවුල ආරක්ෂා කර ගැනීමේ උවමනාව නිසා බොහෝ කාන්තාවන් අකමැත්තෙන් වුවත් තමාගේ විශ්වාසයන් සැමියාට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නවා.


  • තමාට අවනත කර ගැනීම

“මම ඔයාට නීති දාන්නේ ආදරේටනේ”

විවාහයක් තුල දෙදෙනාට තිබිය යුත්තේ සම තත්වයක්. ඒත් බොහෝ පවුල් වල සැමියා තම බිරිඳව යටත් කරගෙන සිටීමට උත්සාහ දරනවා. කකරන කරන හැම දේටම නීති දාලා, අවසානයේදී කියනවා නීති දැම්මේ ආදරේට කියලා.


  • ඇගේ සිහින වලට අකුල් හෙලීම

“අපෝ රස්සා වලට ගියාම ගෑණුන්ට කරදර සිද්ධ වෙනවා. මම ඔයාට කන්න බොන්න දෙනවනේ. ඔයා ගෙදරට වෙලා ඉන්න.”

ඕනෙම කෙනෙක් ඉගෙනගන්නේ හරිම ආසාවෙන්. දෙමව්පියෝ සියලු සේසතම වියදම් කරලා, හොඳ අධ්‍යාපන ආයතන වලට යවලා දියණියකට උගන්නනේ, පසුව හමුවෙන පිරිමියෙක්ගේ කීම නිසා ගෙදරට කොටු වෙයි කියලා හිතාගෙන නෙවේ. පාසලේ තමන් කැමති ක්ෂේත්‍රය තේරුම් ගියාම දරුවෙක්ට තමන් යායුතු මඟ තේරෙන්න පටන් ගන්නවා. පාසැල් යන දියණියකගෙන් ඇහුවොත් ලොකු වෙලා මොකද කරන්නේ කියලා, ඔවුන් හැමෝම කියන්නේ හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා, දෙමව්පියන්ට සළකගෙන ඉන්න ගමන්, රටට වැඩදායි පුද්ගලයෙක් වෙනවා කියලයි. ඒත් විවාහයෙන් පසුව සැමියාගේ අකමැත්ත නිසා ඒ සිහිනය අමතක කරන බිරින්දෑවරු මොන තරම් ඉන්නවද?


  • ඇගේ මිතුරු ඇසුර සීමා කිරීම

“ඔයා වෙන පිරිමි එක්ක කතා කරනවට මම කැමති නැත්තේ, මම ඔයාට ආදරේ නිසානේ.”

පුංචි කාලෙ එකට සෙල්ලම් කරපු යාළු මිත්‍රකම් සැමියාගේ කීමට අත හරින්න වීම මොන තරම් දුක්බරද? කාන්තාවකට පිරිමි යාළුවො සිටීම වරදක් නෙවෙයි. ඇයට අවශ්‍යනම් ඒ පිරිමි යාළුවෙකු විවාහ කර ගන්න තිබුණා. ඒත් ඇය එසේ නොකර ඇගේ සැමියා විදිහට ඔබව තෝරා ගත්තේ ඇය කැමති ඔබට නිසායි. ඉතින් විවාහයෙන් පස්සේ ඇය පැරණි යාළුවො එක්ක කතා බහ කරනවට තහංචි දමන්නේ ඇයි?

  • TAGS
  • 6
SHARE