නාර්සිස්ටික් පෞරුෂ ලක්ෂණ ඇති අයෙකු හා ආදරයෙන් බැඳීම පහසු වුවත්, ඉන් පසුව එම ආදරය පවත්වා ගැනීම ඉතා අපහසුය. ඔබට එය දැනෙන්නේ එවැනි අයෙකු සමඟ දිගින් දිගටම ජිවත් වීමේදීය. බොහෝ පුද්ගලයන්ට සිදු වන්නේ උගුලකට හසු වූවා වැනි දෙයක්ය. එයට හේතුව වන්නේ නාර්සිස්ටික් ගතිගුණ ඇති පුද්ගලයා ඔබට ඔහුගෙන් මිදීමට ඉඩ නොදීමත්, ඔබට ඔහුගෙන් මිදීමට උවමනා නොවීමත්ය. නොගැලපෙන සහකරුවෙක්ව අත හරින එක එතරම් අපහසු නැහැ. නමුත් නාර්සිස්ටික් පෞරුෂයක් ඇති අයෙකුට බහුතරයකගේ සිත නොසැලෙන සේ බැඳේ. වේදනා දැනුනත් ඔබේ සහකරුව අත් හැරීමට නොහැකි දුර්වලකමක් ඔබ තුලින් මතු වීමට වැඩි ඉඩක් තිබේ. ඔබව ඒ තත්වයට පත් කරන්නෙත් ඔහුමය.




ඔබේ සහකරුගේ මනඃකල්පිත මවා පෑම් තුල සිර නොවන්න

නාර්සිසිට් පෞරුෂයක් ඇති අයෙකුට ඔබව තම වසඟයට ගන්නා තුරු මනහර ලෙස හැසිරීමේ මනා හැකියාවක් පවතිනවා. ඔවුන් තුල කාන්දම් ශක්තියක් සැඟව තිබෙනවා. ඔබ ඉදිරියේ තමා උසස් ගුණ ඇති පුද්ගලයෙකු බව මවා පා පෙන්වන්නට ඔවුන්ට පුදුමාකාර හැකියාවක් තිබෙනවා. ඔබ ඔවුන්ගේ ආත්ම විශ්වාසය, උසස් සිහින ආදී දෑට ආකර්ෂණය වෙනවා. එය ඔබව මුලාවේ දමන මෝහනයක ස්වරූපය ගන්නවා. එවැනි පුද්ගලයෙකු ඇසුරු කිරීමෙන් ඔබේ අනාගතය සුවදායි වන බව ඔබට හැඟෙනු නොඅනුමානයි.

මේ දේවල් ක්‍රියාවට නංවන්න

  • ඔබේ අවශ්‍යතාවයන් ඉටු වන තුරු බලා සිටින්න එපා

ඔවුන් ඔබේ උවමනා සහ අවශ්‍යතා කෙදිනකවත් හඳුනා ගන්නෙවත්, ඒවා ඉටු කරන්නේවත් නැහැ. ඔවුන් සොයන්නේ සහකරුවෙක් නොවේ. ඔවුන් සොයන්නේ නිරන්තරයෙන් ඔවුන්ට ගෞරව කරන, ඔවුන්ව වර්ණනා කරන පුද්ගලයන්වයි. ඔබේ අවශ්‍යතා වලට එවැනි සබඳතා තුල තැනක් ලැබෙන්නෙම නැහැ.

  • ඔහුව නිරීක්ෂණය කරන්න

ඔබ ඉදිරියේ මනහර උසස් ආකාරයෙන් හැසිරෙන ගමන් සෙසු පුද්ගලයන්ට බොරු කීම, රිදවීම, විධාන පැනවීම, අගෞරව කිරීම මොවුන්ගේ විශේෂ ලක්ෂණයක්. එහි අර්ථය යම් දිනක ඔබටත් ඔවුන් ඒ ලෙසම සලකන බවයි. ඔබ අනෙක් අයට වඩා වෙනස් ලෙස ඉහල සැලකුම් ලබන බව සිතමින් මායාවන් වල රැවටෙන්න එපා.

  • නාර්සිස්ටික් පෞරුෂයක් ඇති තැනැත්තාව වෙනස් කිරීමට උත්සාහ නොකරන්න  

ඔහු කෙදිනක හෝ වෙනස් වේ යැයි ඔබ බලාපොරොත්තු වෙනවා නම් එය ඔබ ඔබවම රවටා ගැනීමක්. ඔවුන් කෙදිනකවත් වෙනස් වන්නේ නැහැ. නාර්සිස්ට් පුද්ගලයෙකු ඇසුරු කරන බහුතරයක් දෙනා කරන්නේ තමාට දැනෙමින් පවතින වේදනාව නොසලකා හැර, අනෙකා වෙනස් වේ යැයි බලා සිටීමයි.

  • ඔබේ සිහින වෙත අවධානය යොමු කරන්න

ඔබ කැමති දේ ඉටු කර ගැනීම ඔබේ වගකීමක්. එයට හේතුව වන්නේ නාර්සිස්ටික් පෞරුෂයක් ඇත්තා ඔබේ සිහින, ඔබේ හැඟීම් වලට අවධානය යොමු නොකිරීමයි.

  • ඔබත් ඔබේ සහකරුත් අතර හිතකර සීමා (Healthy Boundaries) ඇති කර ගන්න  

හිතකර සීමාවන් ඇත්තේ ආදරය සහ තේරුම් ගැනීම ඇති සබඳතාවයන් තුලය. හිතකර සීමාවන් පනවා ගත්තවුන් අනෙකාගේ සංවාද වලට රහසින් සවන් දීම, අනෙකාගේ පෞද්ගලික දෙයට බලෙන් ඇඟිලි ගැසීම, විමසන්නේ නැතිව අනෙකාගේ දේපල තමා සතු කර ගැනීම, ආරාධනාවක් නැතිව අනෙකාගේ දෙයට සහභාගී වීම, අනෙකාගේ අදහස් සොරකම් කිරීම, අනෙකාට අනවශ්‍ය සහ තමාට අවශ්‍ය දේවල් කිරීමට අනෙකාට බල කිරීම වැනි දෙයෙහි නිරත වන්නේ නැහැ. නමුත් නාර්සිස්ටික් පෞරුෂයක් ඇත්තා අනෙකාගේ ජිවිතය සීමා මායිම් වලින් තොරව ආක්‍රමණය කරයි. ඒ නිසා ඔබේ සීමාවන් ඔබම ඇති කර ගෙන, ඒවායේ ස්ථිරව සිටිය යුතුයි.

  • ඔබේ වෙනස් වීම් වලට එරෙහිව කැරලි ගසන විට ඒවා නොසලකා හරින්න

තමාගේ අවශ්‍යතා ඉටු කරන උපකරණය තමාගෙන් ගිලිහිම දරා ගන්නට බැරි වන තැන නාර්සිස්ටික් පෞරුෂයක් ඇති අය කැරලි ගසන්නට පටන් ගන්නවා. ඔබ පහත් ගතිගුණ ඇත්තෙකු බවට ඔහු නඟන චෝදනා නොසලකා හරින්න. ඔබ කරන්නේ නිවැරදි දෙය බව විශ්වාස කරන්න. ඔහු ඔබට බැන වදින විට ඒවාට පිළිතුරු දෙන්න එපා. ඔබ ඔහු සමඟ වාද කලාට ඔහුට ඒවා ඇහෙන්නේ හෝ ඔහුට ඒවා තේරුම් යන්නේ නැහැ. ඔහු මොන තරම් කැරලි ගැසුවත් ඔබ ඇති කර ගත් සීමා මායිම් වල ස්ථිරව සිටින්න. ඔබ පරාජය භාර ගත්තොත් ඔබට හැමදාමත් පරාජිතව සිටින්නට වෙනු නොඅනුමානය.

  • බාහිර සහාය ලබා ගන්න

ඔබව නැවත යටත් කර ගැනීම සඳහා ඔහු ගත හැකි හැම උත්සාහයක්ම දරාවි. අපහාස කිරීම් සහ බැනුම් වලින් හිත රිදෙන විට මිතුරන් ඇසුරු කරන්න. ඊළඟට ඔහු ඔබව දරුණු ලෙස නොසලකා හරින්නට පටන් ගනීවි. ඔබේ ජිවිතයේ තිබිය යුතු සීමා මායිම් ඔබ ඇති කර ගැනීම කොහොමටවත් වරදක් නෙවෙයි. ඔහු ඔබ කතා නොකර, ඔබව කොන් කර දමන්නට උත්සාහ කරාවි. ඒ එමඟින් ඔබේ මානසික ශක්තිය ගිලිහි, ඔබ ඇති කර ගත් සීමා මායිම් ඔබම අවලංගු කර දමනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන නිසාය. තනි නොවී සිටීම සඳහා නිතරම පිටස්තර මිතුරන් ඇසුරු කරන්න. උපදේශකයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට මැලි නොවන්න.  

    

“අවධානයෙන් සිටින්න. ඔබේ පෙම්බරා තුලත් මෙවැනි අසාමාන්‍ය ලක්ෂණ සැඟවී තිබිය හැකියි” ලිපියට මෙතැනින් පිවිසෙන්න.

SHARE