දාසී භාර්යාවක් කියන්නේ හැම අවස්ථාවකදීම සැමියාට හිස නවා ගරු කරන බිරිඳකටයි. සැමියා පහර දුන්නත්, මොන වරද කළත් දාසී භාර්යාවක් ඒක ඉවසාගෙන ඉන්නවා. සැමියා වැරදි මාර්ගයක යනවා පෙනුණත්, මේ වගේ බිරින්දෑවරු බැල්මකින්වත් සැමියාට විරෝධයක් දක්වන්නේ නැහැ. ඇත්තටම ඒක හොඳ බිරිඳකගේ ලක්ෂණයක්ද ? අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා මේ ගැන සාකච්ඡා කරන්න තීරණය කළා.




ඇත්තටම හොඳ බිරිඳක් කියන්නේ තමන්ගේ සැමියාට මවක්.

හොඳ මිතුරියක්, හොඳ මාර්ගෝපදේශිකාවක් වෙන්න පුළුවන් තැනැත්තියකටයි. ඕනෑම මනුෂ්‍යයෙකුගේ අඩුපාඩු කම් තිබෙනවා. ඉතින් ඔබේ සැමියාගේ අඩුපාඩු ඔබ දකිනවා නම්, ඒවා ඔහුට ආදරයෙන් පහදලා දීම ඔබේ වගකීමක්.


හැම වරදම ඉවසනවා කියන්නේ ඒ වැරදි වලට අනුබල දෙනවා කියන එකයි.

උදා : දුම්වැටියක් බොන සැමියාට ඔබ එයට අකමැති බව හඟවන්න පසුබට වෙන්න එපා. ඔබ එහි ඇති ආදීනව සහ ඔබේ අකමැත්ත ගැන ඔහු සමඟ කතා කළොත් ඔහු දුම්වැටි බොන ප්‍රමාණය මඳක් හෝ අඩු කරාවි. නැති නම් ඔහු දිගින් දිගටම දුම්වැටි භාවිතා කර රෝගියෙක් වේවි.

ඔබට නොකළ වරදකට බැන වදින සැමියා ඉදිරියේ හිස පහත් කරගෙන ඉන්න එපා. රණ්ඩුවට නොයා ප්‍රශ්නය ගැන විවෘතව සාකච්ඡා කරන්න. බොරු හේතු වලට බනිද්දි ඉවසනවා කියන්නේ, ඔහුට තවත් නපුරු වෙන්න අනුබල දීමක්. ඔබේ විරෝධතාවයක් නොමැති බව දන්නා නිසා ඔහු ඔබට නිකරුනේ පහර දීමටත් පෙළඹේවි.


හොඳ බිරිඳක් කියන්නේ උපක්‍රමශීලිව වැඩ කරන නැණවත් කාන්තාවක්.

හැමදේම ඉවසන්න එපා කියන එකෙන් අපි අදහස් කරන්නේ රණ්ඩුවට යන්න කියන එක නෙවෙයි. මොකද ගොඩාක් පිරිමි කාටවත් යටත් වෙන්න කැමති අය නෙවෙයි. ඔවුන් තමන් සමඟ රණ්ඩුවට එන ගැහැණුන්ට කවදාවත් කීකරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔහුට හොඳ ගුරුවරියක් විය යුත්තේ ආදරණියවයි.

  • බීමත්ව ගෙදරට ආපු සැමියාට බීමත්කමේ ආදීනව ගැන කියා දෙන්න ඕනේ ඔහු බීමතින් ඉන්න වෙලාවේ නෙවෙයි. ඊට පසු දවසෙයි.
  • සැමියා දුර්වල තීරණයක් ගත විට ඔබ නොදැක්කා වගේ ඉන්න එක ඔහුට කරන වරදක්. ඒ වගේම ඔහු ගත තීරණය පාච්චල් කරමින්, ඔහුට බැන වදිමින් නිවැරදි මතය ඉදිරිපත් කිරීමත් ප්‍රතිඵලදායි නැහැ. ඔබ එහෙම කළොත්, ඔබේ සැමියා කිසි විටෙක ඔබේ මතයට ගරු කරන එකක් නැහැ.

“ඔයා ගත්තු තීරණය මෙහෙම වෙනස් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඔයාට මොකද හිතෙන්නේ? ඒකට කමක් නැහැ, ඔයා කැමති දෙයක් කරමු.” ඔබ මේ වගේ දෙයක් කිව්වම, ඔබේ සැමියා මත දෙක ගැනම මැදහත්ව සිතා බලා, වඩාත් නිවැරදි ඔබේ මතය බව වටහා ගනීවි.


නිවසක සැලසුම් සකස් කරන වැඩේ කාන්තාවක් භාර ගත යුතුයි.

වියදම් පාලනය, දරුවන්ගේ අනාගතය ගැන සැලසුම්, පවුලේ අනාගතය ගැන දීර්ඝකාලීන සැලසුම් කිරීමේ කාර්යය ඔබ භාර ගන්න. ඇත්තටම එය ඔබේ සැමියාගේ මනසටත් නිදහසක් ගෙන දේවි. ඔබ සියලු බරපතල තීරණ ගැනීමේ කාර්යයන් ඔබේ සැමියාට භාර දීම ඔහුට කරන ගරු කිරීමක් නොවේ. එය ඔහුට බරක්. කාන්තාවක් නිවසේ සියලු වගකීම් පුරුෂයාට භාර දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු, ඇය කිසිවක් කර ගත නොහැකි මෝඩ කාන්තාවක් ලෙස සලකනවා. එය ඇය තමාට කරන ගරු කිරීමක් ලෙස පුරුෂයා සලකන්නේ නැහැ.


පවුලකදී ඒ බැඳීම් ආරක්ෂා කර ගන්න නම් කැප කිරීම් කළ යුතුම වෙනවා.

එයට හේතුව වන්නේ සැමියා කැමති දෙයත්, බිරිඳ කැමති දෙයත් එකිනෙකට වෙනස් වීමයි. නමුත් මේ කැප කිරීම් තනිකරම කළ යුත්තේ බිරිඳ නෙවෙයි. බැඳීමක් ආරක්ෂා කර ගන්න නම් දෙදෙනාම සම සමව ඒ කැප කිරීම් කළ යුතුයි. ගොඩක් බිරින්දෑවරු මේ වැඩේ වැරැද්ද ගන්නේ විවාහ වුණු අලුතමයි. එහෙම නැත්තම් පෙම් කරන අවදියේදීමයි.

  • දෙදෙනා හමු වූ මුල් කාලයේදී බොහෝ කාන්තාවන් තමන් කැමති සියලු දේ කැප කරමින්, පුරුෂයා කැමති හැම දේම කරන්න පටන් ගන්නවා. සමහරවිට පුරුෂයා යමක් එපා කියන්නෙත් නැහැ. ඒ දේට කැමැත්තක් නැහැ කියලා අඟවපු ගමන් කාන්තාව තමාගේ කැමැත්ත අත හරිනවා. ඒත් අවසානයේදී මේක පුරුද්දකට යනවා. තමාට වැරදුනු බව කාන්තාවට දැනෙද්දී ප්‍රමාද වැඩියි. බොහෝ විට බැඳීම වෙනුවෙන් කිසිම දෙයක් කැප නොකර සිටින්නට පුරුෂයාව පුහුණු කරවන්නේ කාන්තාවමයි.
  • TAGS
  • 4
SHARE