ද කාලෙ පෙම් සබඳතා බිඳෙන්න යනකොට අනිත් කෙනා හරි අපූරු උපක්‍රම පාවිච්චි කරලා ආයෙත් සම්බන්ධය හරි ගස්සා ගන්නවා. එක්කෝ සියදිවි නසා ගන්නවා කියලා තර්ජනය කරනවා, නැත්තම් අත කපාගෙන වීඩියෝ එකක් අරන් ෆේස් බුක් දානවා. එහෙමත් නැත්තම් දෙමව්පියෝ ලවා හෝ මිතුරන් ලවා සහකරුට කතා කරවලා හිත වෙනස් කරවනවා. ඇත්තටම එහෙම මනුස්සයෙක්ව බලෙන් ළඟ තියාගෙන තේරුමක් තියේවිද? අද අපි myfamily.lk තුලින් කතා කරන්න හදන්නේ ඒ ගැනයි.




ඔබට ආදරය නොකරන කෙනෙක් සමඟ ජිවත් වීමට ඔබට අවශ්‍යද?

  • ඔබ කියාවි ඔබ මැරෙනවා කිව්වම එයා බය වෙලා හැරිලා ආවේ ඔබට තිබෙන ආදරය නිසයි කියලා. කොහෙත්ම නැහැ. ඔබේ සහකරු ඔබේ ළඟ ඉන්නේ ඔබ මැරෙයි කියලා බයේ විතරමයි. මොකද, ඔබ ජීවිතය නැති කර ගත්තොත් සමාජය ඔවුන්ට ඇඟිල්ල දිගු කරයි කියලා ඔවුන් බයයි. ඉතින් ඔබට ආදරේ නැති කෙනෙක්ව බය කරලා ඔබේ ළඟ තියා ගන්න එකේ තේරුමක් තියෙනවද කියලා ආයෙත් හිතලා බලන්න.
  • සමහරු තමන්ගේ සහකරුට ආරංචි වෙන්න දෙනවා තමන් නොකා නොබී දුකින් ඉන්න බව. ඒ වගේ වෙලාවට සහකරු ඔබේ ළඟට ආයෙත් එන්නේ ආදරේ නිසා නෙවෙයි, අනුකම්පාවට. හිතේ ඔබ ගැන ආදරය එක කඳුලක්වත් නැතිව, අනුකම්පාව නිසා ඔබ එක්ක ඉන්න කෙනෙක්ව ඔබට අවශ්‍යද? ඔබ කෙනෙක්ව බලෙන් ළඟ රඳවා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඔබට සිදු වෙනවා ඔබට ආදරය නොකරන කෙනෙක් සමඟ ජීවිතය ගෙවන්න.

ජිවිත කාලෙම බැනුම් අහ අහ ඉන්න ඔබ කැමතිද?

  • ඔබේ සහකරු ඔබෙන් ඈත් වෙලා යන්න හැදුවේ ඔබ ගැන ආදරයක් හිතේ නැති නිසයි. ඔබ මොනවා හෝ උප්පරවැට්ටියක් යොදලා එයාව ළඟ තියා ගත්තම, එයා ඉන්නේ ඔබ ගැන තරහෙන්. ඔබේ සහකරු ඔබට කවදාවත් කියන එකක් නැහැ ඔබව අත් හැරීමට බැරි වුණ නිසා ඔබ සමඟ තරහෙන් ඉන්නවා කියලා. ඒත් ඔබේ සහකරුගේ ක්‍රියාවන් ඔබට ඒ බව හෙළි කරාවි.
  • ඔබ මොන දේ කළත් ඔබේ සහකරු අඩුවක් දකීවි. ඔබ අඳින ඇඳුම් වලට ඔහු අකමැති වේවි. ඔබේ අතින් වතුර වීදුරුවක් බිඳුනොත්, ඔබ මුළු ගෙදරම විනාස කළා සේ ඔබට බැන වදීවී. ඔබේ දරුවෙක් පාසලේදී වරදක් කරලා අහු වුණොත් ඒ තරහාත් ඔබේ පිටින් යාවි. ඔබේ දරුවෙකුට තුවාලයක් සිදු වුවත් එහි වැරදිකරු ඔබ වේවි. ඔබේ මිදුලේ මල් පැළයක් මැරුණත් එහි වැරදිකරු ඔබ බවට පත් වේවි. තමන් ගැන අනාදරයකින් සහ නොරිස්සුමෙන් පසු වන පුද්ගලයෙකු සමඟ ජිවත් වීම පහසු නැහැ.

ආයෙත් ගියොත් ඔබ මොකද කරන්නේ?

  • එක සැරයක් ගිය කෙනා ආයේ නොයා ඉඳීවි කියලා විශ්වාස කරන්න ඔබට පුලුවන්ද? ඔහුට ඔබව හැර යාම අපහසු දෙයක් නෙවෙයි කියලා ඔබ දන්නවා. ඔබ ඔබේ සහකරුට තර්ජනය කරලා ඔබ ළඟ රඳවා ගත්තා යැයි සිතමු. කුමක් හෝ බාහිර බලපෑමකට යට වෙලා අද ඔබ ළඟ රැඳුනු කෙනා අනාගතයේදී නැවත තමන්ගේ නිදහස සොයාගෙන යෑමට ඉඩ තිබෙනවා.
  • ඔබ දෙදෙනා විවාහ වී, දරුවන් කිහිප දෙනෙකු ලැබුණු පසු ඔබේ සහකරු ඔබව හැර දමා ගියොත් ඔබ මොකද කරන්නේ?

ඔබේ සහකරු ඔබව හැර යන්නට උත්සාහ කරන්නේ නොගැලපීම් නිසා නේද?

  • දුක නිසා ඔබට ඔබ දෙදෙනා අතරේ ඇති නොගැලපීම් නොපෙනෙනවා වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කෙසේ හෝ ඔබේ ආදරය ආරක්ෂා කර ගැනීමට පමණක් වෙන්න ඇති. ඒත් ඔබට වඩා ඔබේ සහකරුගේ සිතේ ඇති ශක්තිමත් බවක් නිසා ඔහුට/ ඇයට ඔබ දෙදෙනා අතර ඇති නොගැලපීම් වැටහෙනවා ඇති.
  • ඔබට වැටහීමක් නැති වුණත්, ඔබ දෙදෙනා අතර බොහෝ ගැටළු සහ හිත් රිදවීම් ඇති වී ඇති. මෙසේ ගැටළු ඇති වන්නේ නොගැලපීම් නිසායි.
  • නොගැලපීම් තිබීම ඔබේවත්, ඔබේ සහකරුගේවත් වරදක් නොවේ. ඔබේ ගතිගුණ වලට ගැලපෙන වෙනත් අයද, ඔබේ සහකරුගේ ගතිගුණ වලට ගැලපෙන වෙනත් අයද ඕනෑ තරම් සිටිනවා. මේ නිසා ඔබ ඔබේ ලක්ෂණ තවත් අයෙකුට ඕනෑ ලෙස වෙනස් කරගෙන, ඔහුව හෝ ඇයව රඳවා ගැනීමට උත්සාහ කිරීම අර්ථ විරහිතයි.
  • TAGS
  • 4
SHARE