දරය හරියට මායාවක් වගේ. ආදරය ඇරඹුණු මොහොතේ ඔයාගේ ලෝකේ ඉන්න හොඳම කෙනා, ඔයාගේ  ජීවිතේට ගැලපෙනම කෙනා එයයි. ටික ටික කාලය ගත වෙද්දී සමහර පෙම්වතුන්ට පෙම්වතියන්ට තේරෙන්න ගන්නවා ඒ තමාට ගැලපෙන කෙනා නොවන බව. නොගැලපීම් ගලප ගන්න පුළුවන් තරම් උත්සාහ කලත්, බැරි බව සමහරුන්ට වැටහෙනවා. ඒත් යම් යම් හේතුන් කීපයක් නිසා ඔවුන් තමන්ගේ සහකරුවන් අත අරින්නේ නැහැ. ඔවුන් කියන්නේ නම් අත අරින්න බැරි ආදරය නිසා කියලයි. මේ කතාව ඇත්තක්ද කියලා අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ සාකච්ඡා කරන්න තීරණය කළා.



මුලින් දැකපු හොඳ ගතිගුණ නිසා

බහුතරයක් පුද්ගලයන් තමාට නොගැලපෙන කෙනාවම විවාහ කර ගැනීමට බලපාන තවත් ප්‍රධානතම හේතුවක් තමයි මේ. අනෙකා තුල මුලින් තිබුණු යහපත් ගතිගුණ ගොඩ දෙනෙකුගේ හිත තුල ස්ථිරව සටහන් වෙනවා. දැන් ඒ පුද්ගලයා තුල ඒ යහපත් ගතිගුණ නැති වුණත්, එයාව අත අරින්නේ නැහැ. යාලු වුන මුල් කාලේ හොඳ කෙනෙක් විදිහට රඟ පාන්න ඇති කියලා හිතට දැනුනත්, එය පිළිගන්න ගොඩ දෙනෙක් කැමති වෙන්නේ නැහැ.  

 

තනි වෙන්න තියෙන බය නිසා

ඉන්න කෙනාව අත ඇරලා තනි වෙන්න වෙයි කියලා ගොඩ දෙනෙක් බය වෙනවා. ඉතින් ඒ නිසා මොන තරම් නොගැලපීම් තිබුනත් ඉවසගෙන ඉන්න හිත හදා ගන්නවා. ඒත් සත්‍යය ඒක නෙවෙයි. නොගැලපෙන සබඳතාවයක එල්ලීගෙන දිනපතා වේදනා විඳිනවට වඩා තනිකම සැපතක් බව ගොඩ දෙනෙක් අවබෝධ කර ගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, නොගැලපෙන කෙනාව අත ඇරලා දැම්මම, ගැලපෙන කෙනෙක් අලුතින් මුණ ගැහෙන්නන් අවස්තාව තියෙනවා කියලත් ඔවුන් දන්නේ නැහැ.

 

සහකරුවා තුල වරදක් නැති නිසා

නොගැලපීම කියන්නේ කාගේවත් වරදක් නොවෙන අවස්ථාත් පවතිනවා. අදහස් වලින්, හැසිරීමෙන් කිසිදු ගැලපීමක් නොමැති දෙදෙනෙකු වෙන වෙනම ගත් විට ඔවුන් ඉතාමත් යහපත් අය විය හැකියි. කෙසේවත් සමාජශීලි නොවන අයෙකුට, අධික ලෙස සමාජශීලි පුද්ගලයෙකු හා ජිවත් වීම බෙහෙවින් අපහසු වෙන්න පුළුවන්. නමුත් සමාජශීලි පුද්ගලයා මෙන්ම, සමාජශීලි නොවන පුද්ගලයාද ගතිගුණ වලින් ගොඩාක් යහපත් පුද්ගලයන් විය හැකියි. එතැන ඇත්තේ නොගැලපීම මිස වරදක් නොවේ. ඉතින් ගොඩක් දෙනා නොගැලපීම් දැක දැකත් අමාරුවෙන් ඉවසාගෙන සිටින්නේ අනෙකා යහපත් ගතිගුණ ඇති පුද්ගලයෙකු නිසා විය හැකියි.

 

සබඳතාවය දිගු කාලීන වීම

ප්‍රේම සම්බන්ධතාවය දිගු කාලීන වන තරමට දෙදෙනා අතර ඇති මතකයන් ප්‍රමාණය වැඩියි. සබඳතාවය දිගුකාලීන වන තරමට, මතකයන් වැඩි වන තරමට අත් හැරීම වේදනාකාරී වෙනවා. නමුත් සමහර පෙම් සබඳතාවයන් දිගු කාලීන වන තරමට එක් රැස්වන්නේ අමිහිරි මතකයන්. අමිහිරි මතකයන් වැඩි වීම නම් පෙම් සබඳතාවය නිමා කිරීමට ඇති හැකියාව වැඩි වෙනවා.

 

සමාජයට ඇති බිය

දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන දන්නා පිරිස වැඩි වන තරමට ඔවුන් වෙන් වීමට පසුබට වෙනවා. සමහර පෙම්වතුන්ගේ නිවෙස් වලිනුත් දෙදෙනාගේ සම්බන්ධය ගැන දැනගෙන අවසන්. දෙදෙනාටම ඉන්නේ පොදු මිතුරන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී වෙන් වීමට තීරණයක් ගැනීම ගොඩක් අපහසු වෙන්න පුළුවන්. දෙදෙනා අතර ඇති නොගැලපීම් දෙදෙනාම වටහාගෙන තිබුනත්, සමාජයේ අපවාද වලට ඇති බිය නිසා වෙන් නොවී සිටින්නට බොහෝ දෙනෙක් තීරණය කරනවා දැකිය හැකියි.

 

ඔබේ සහකරු ඔබේ හැඟීම් මනාව පාලනය කරන්නට දත් අයෙක් වීම

සමහර පුද්ගලයන් තුල සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ඒ තමයි තමන් වැරදි කරමින්, වරද ඇත්තේ තමා තුල නොවන බව සහ වරදකරු තමන්ගේ සහකරු බවත් අනෙකාගේ සිතට කා වැද්දවීම. මෙය සුවිශේෂී ගනයේ පෞරුෂ ලක්ෂණයක් වෙනවා. ඉතින් එම සිතුවිලි පහසුවෙන්ම අනෙකාගේ සිතට කා වදිනවා. ඉන් පසු තම සහකරුගේ මොන තරම් වැරදි පෙනෙන්නට තිබුනත් ඔහුව/ ඇයව සාධාරණියකරණය කරන්නට ඔබ පෙළඹෙනවා. එය ඔබේ සහකරු විසින් ඔබේ සැබෑ හැඟීම් පාලනය කිරීමක් වැනිය.

 


SHARE