වි

වාහය කියන්නේ ගොඩක් ආදරණිය වගේම සුන්දර බැඳීමක්. දෙදෙනෙකුගේ බැඳීමේ ශක්තිමත් භාවය වැඩි කර ගන්න උදව් කරන ගොඩක් ආදරණිය දේවල් ඕනෑ තරම් තියෙනවා. ඒ අතරින් රාත්‍රී නින්දට යාමට පෙර සහ නින්දට යාමේදී දෙදෙනා විසින් පහත සඳහන් දේවල් වල නියැලුනොත් නම් ඔවුන්ගේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙන බව අපි අවධාරණය කරන්න කැමතියි.



1 රාත්‍රී ආහාරය එකට පිසීම සහ ආහාරයට ගැනීම

දෙදෙනා එකතු වෙලා රාත්‍රී ආහාරය සකස් කිරීමෙන් දෙදෙනාට ලැබෙන්නේ සුළුපටු ප්‍රයෝජනයක් නම් නෙවෙයි. දෙදෙනා අතර සාමය වර්ධනය වීම, මතකයන් එක් රැස් වීම, නව දේවල් ඉගෙන ගන්නට ලැබීම වගේ ප්‍රයෝජන රැසක්ම ලැබෙනවා. එකතු වෙලා ආහාර පිසිනකොට ඔබ දන්නා ඉවීමේ රහස්, කුඩා අවධියේ කල දේවල් බෙදා ගන්න පුළුවන්. දෙන්නම එකතු වෙලා උයද්දී එක්කෙනෙක්ට විතරක් මහන්සි දැනෙන්නේ නැහැ. කලකිරීම් ඇති වෙන්නේ නැහැ. එකතු වෙලා ආහාරය රස විඳින එකෙනුත් ඔබ දෙදෙනා අතර ඇති සමීපත්වය වැඩි වෙනවා.

2 දවස තුල සිදු වුනු හොඳ දේවල් ගැන සාකච්චා කිරීම

නින්දට කලින් කවදාවත් ප්‍රශ්න කතා කරන්න හොඳ නැහැ. එයින් දෙදෙනාගේම මානසික ආතතිය ඉහල යාමෙන් සුවදායි නින්දකට බාධා ඇති වෙනවා. මේ නිසා දවස තුල සිදු වුනු හොඳ දේවල්, සුන්දර සිදුවීම් වගේ ධනාත්මක දේවල් සාකච්චා කරන්න. එයින් ඔබ දෙදෙනාගේ මනස සැහැල්ලු වීම සහ සබැඳියාව වර්ධනය වීම සිදු වෙනවා.

3 දෑස් දෙස බලාගෙන සිටීම

කතා කිරීමෙන් අනෙකා තේරුම් ගැනීමට උත්සාහ කරනවාට වඩා මේ පුරුද්ද ඔබ දෙදෙනාට දෙදෙනාව තේරුම් ගැනීමට උදව් කරනවා. මුහුණට මුහුණ වාදී වෙලා දෙදෙනා දෙදෙනාගේ දෑස් දිහා බලාගෙන සිටීමෙන් අනෙකාගේ හැඟීම් කියවීමට පහසු වෙනවා. එමඟින් දෙදෙනා අතර ඇති බැඳීම, අවබෝධය වර්ධනය වෙනවා. විනාඩි දෙකක් මේ විදිහට අනෙකාගේ දෑස නිරීක්ෂණය කිරීමෙන් අදෘශ්‍යමාන බලයකින් ඔබ දෙදෙනා අතර ඇති තේරුම් ගැනීමේ ශක්තිය වර්ධනය වෙනවා.

4 ආදරණිය අතීතය නැවත නැවත සිහි කරන්න

නින්දට යන්න කලින් ඔබ දෙදෙනා හමු වුනු මුල් අවධියේ ඇති වුනු ආදරණිය මතකයන් පිළිබඳව නැවත නැවත සිහි කරන්න. මුල් කාලයේදී ඔබට අනෙකා ගැන, ආදරය ගැන දැනුනු ආකාරය පවසන්න. අතීතයේදී එවපු ආදර ලිපි, කෙටි පපණිවිඩ, ත්‍යාග නැවත නැවත බලන්න. ඔබ දෙදෙනා ආදරය කරන්න පටන් ගත්තට පස්සේ හමු වුන මුල්ම දවස, ප්‍රථම හාදුව වගේ දේවල් ගැන නැවත නැවත මතක් කරන්න. මෙය ඔබේ ආදරය ශක්තිමත් කරන්නට උපකාරී වෙනවා.

5 ආදරණිය සම්බාහනයක්

බොහෝ විට සැමියෙක් නිවසට එන්නේ මහන්සියෙන්. ඒ වගේම තමයි බිරිඳක් දවස පුරා වැඩ කරලා ඉන්නෙත් මහන්සියෙන්. ඉතින් සතියකට දෙවතාවක්වත් දෙදෙනාට මාරුවෙන් මාරුවට ආදරණිය සම්බාහනයක් හුවමාරු කර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දෙදෙනා අතර තියෙන බැඳීම වැඩි කර ගන්නත්, මානසික සහ ශාරීරික වෙහෙස දුරු කර ගන්නත් මෙය උදව් වෙනවා.

6 ආදරණිය කපල් ඩාන්ස් එකක්

මේ වගේ දේවල් වල නම් අපේ විවාහක යුවලවල් නිරත වෙන්නේ හරිම අඩුවෙන්. නමුත් දෙන්නම කැමති සිංදුවකට ආදරණිය ලෙස නර්තනයක යෙදෙන්නට හැකි නම් ඉතාමත් සුදුසුයි. එයින් කණ්ඩායම් හැඟීම වර්ධනය වීම, සිරුරට ව්‍යායාමයක් ලැබීම, වචන වලින් තොරව දෙදෙනාට සමීප වන්නට අවස්තාව හිමි වීම, අනෙකා වෙත අවධානය යොමු කරන්නට අවස්තාව හිමි වීම වගේ ප්‍රයෝජන රැසක් හිමි වෙනවා.

7 ස්තුතිය පල කිරීම

විවාහක යුවලක් ඔවුනොවුන් වෙනුවෙන් පුදුමාකාර ලෙස කැප වෙනවා. ඔබේ සතුට වෙනුවෙන් කැපවෙන ඔබේ සහකරුට කෘතඥපූර්වක වෙන්න. රාත්‍රී නින්දට පෙර ඔබේ සහකරු ඔබ වෙනුවෙන් දවස පුරා කල දේවල් වලට ස්තුති කරන්න. කෘතඥතාවය පෙන්වීම සඳහා ඔබේ සහකරුට රසවත් ආහාර වේලක් ලබා දීම, උණුසුම් කෝපි කෝප්පයක් සකසා දීම වැනි ක්‍රියා සිදු කල හැකියි.  

8 එකතු වී පොත් කියවීම

පොත් කියවීම කියන්නේ අලුත් දැනුම ලබා ගන්න පුළුවන්, සොඳුරු දේවල් රැසක් ඉගෙන ගත හැකි ක්‍රමයක්. ඉතින් දෙදෙනා එකතු වී පොත් කියවීමට හුරු වීම ඉතා අගනා ක්‍රියාවක්. දෙදෙනාට දෙදෙනාගේ අදහස් බෙදා ගැනීමට උපකාර කරන කදිම ක්‍රමයක්.


SHARE