ටි
කක් වයසෙන් වැඩෙන කොට සමහර දරුවන් මුරණ්ඩු වීම ඉබේටම සිදු වෙනවා. මේ වගේ අවස්තා වලදී බොහෝ මව්පියන් දුකට පත් වීමත්, කෝප ගැනීමත් සිදු වෙන ආකාරය දකින්න පුළුවන්. නමුත් මෙවැනි අවස්තා වලදී මව්පියන් වන ඔබ කටයුතු කල යුත්තේ ඉතා කල්පනාකරිවයි. මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ළමා මනෝවිද්‍යාඥයින් විසින් අපූරු සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා. මෙම සංකල්පය හඳුන්වන්නේ 5 C සංකල්පය ලෙසයි.


1 Clarity – පැහැදිලි බව

ඔබ ඔබේ දරුවාට නීති, සීමා මායිම් පනවන විට එය පැහැදිලිව කරන මෙන් මෙයින් උපදෙස් ලබා දෙනවා.

ඔබ ඔවුන් සමඟ පැහැදිලිව  කතා නොකර, ඔබට අවශ්‍ය දේ පැහැදිලිව දරුවාට සන්නිවේදනය නොකර  දරුවා ඔබට කීකරු වේ යැයි බලාපොරොත්තු වෙන්න එපා.

ඒ වගේම ඒවා ඔබේ දරුවාට නිසි ආකාරයෙන්මෙ වැටහුනාද, නැද්ද යන්න ඔබ නැවත විමසා දැනගත යුතුයි.

නීති රීති දැමීමට හේතුව සහ දරුවා නීති රීති බිඳ දැම්මොත් ඒ සඳහා අත් වන ප්‍රතිවිපාක පිළිබඳවත් දරුවාව නිසි ලෙස දැනුවත් කරන්න.

හැකි නම් නීති රීති ගොඩ නැගීම සඳහා ඔබගේ දරුවන්වත් සහභාගී කර ගන්න.

ඔබ විසින් සකසා ගත් නීති රීති දරුවාට පෙනෙන තැනක පැහැදිලිව ලියා අලවන්න.

 

2 Consistency – ස්ථායිතාවය

ඔබ ගත් තීරණ වල නොසැලී සිටිය යුතු වීම මෙයින් අදහස් කරනවා. නීති බිඳ දැමීමෙන් අත් විය හැකි ප්‍රතිවිපාක ගැන ඔබ දරුවාව මුල සිටම දැනුවත් කර ඇති නිසා, ඒවා එලෙසම සිදු කරන්න.

නිවසට පැමිණිය යුතු වෙලාව පසු කර දරුවා පැමිණියොත්, ඊළඟ දිනයේ මිතුරන් හමු වීමට යාමට ඔබ ඉඩ නොදෙන බව මුලින් පවසා සිටියා නම් එය අනිවාර්යයෙන්ම ක්‍රියාවට නංවන්න. දරුවාට අනුකම්පාවෙන් හෝ තවත් එක් අවස්තාවක් දී බලනවා යැයි සිතා ඔබ පැනවූ නීති වෙනස් කිරීමෙන් වැලකි සිටිය යුතුයි. ඔබ එසේ කල හොත් දරුවා ඊළඟ දිනයේදීත් නීති කඩ කිරීමට පෙළඹෙනු ඇත.

ඔබ නීති සකසන ක්‍රියාවලියට දරුවාව සහභාගී කර ගන්නවා නම්, ඔබට ස්ථාවරව සිටීමට වඩාත් පහසු වෙනවා.

කෙසේ වෙතත් දරුවන් කෙමෙන් කෙමෙන් වැඩිහිටිවියට පා තබද්දී නම් ඔබට මෙම නීති රීති වල වෙනසක් කිරීමට අනිවාර්යයෙන්ම සිදු වේවි. දරුවන්ට පෙරට වඩා නිදහසක් ලබා දීමට ඔබට සිදු වේවි. එසේ නීති රීති ලිහිල් කරද්දීත්, අලුත් නීති පනවද්දීත් අනිවාර්යයෙන්ම දරුවන්ව දැනුවත් කරන්න.

 

3 Communication – සන්නිවේදනය

ඔබ දරුවාට නීති පැනවිය යුත්තේ දරදඬු පාලකයෙක් ලෙස නෙවෙයි. නීති රීති පිළිබඳව, ඒවා කඩ කිරීමෙන් අත් වන ප්‍රතිවිපාක පිළිබඳව දරුවාට කියන්නට ඇති දේවල් කියන්නට ඉඩ දෙන්න. දරුවාට තමාගේ හැඟීම් හෙළි කිරීමට ඉඩ දෙන්න. දරුවා කතා කරද්දී ඔබේ වචනයෙන්, ඉරියව් වලින් සහ ඔබේ හඬින් දරුවාට සහයෝගය දක්වන්න. ඔබ දරුවාගේ වචන විශ්වාස කරන බව හඟවන්න. ඔබේ ගරුත්වය දරුවාට ලබා දෙන්න.

 

4 Caring – දයාව දැක්වීම

දරුවා නීති බිඳ දමන විට ඔබ තදින් ඉන්නවා වගේම, දරුවා නීති පිළිපදින විට සහ ඔබට කීකරුව සිටින විට ඔබ දරුවාට ආදරය, දයාව සහ රැකවරණය ලබා දිය යුතුයි. දරුවාව ප්‍රශංසා කරමින් දරුවාව ධෛර්යමත් කල යුතුයි. එවිට ඔබේ ආදරය දිනා ගැනීම වෙනුවෙන් දරුවා තවත් හොඳින් හැසිරෙන්නට උත්සාහ කරාවි. දරුවා වරදක් කල විට ඔබ විවේචනය කල යුත්තේ එම වරද මිස දරුවාව නොවන බව මතකයේ තබා ගන්න.

 

5  Create – නිර්මාණය කරන්න

ඔබේ දරුවාව සුන්දර යහගුණ වලින් හෙබි දරුවෙකු ලෙස නිර්මාණය කිරීමේ වගකීම ඔබ සතුයි. දඬුවමට බියේ වරද සඟවන දරුවෙකු නිර්මාණය නොකර, අවංක දරුවෙකු බිහි කිරීමේ වගකීම ඔබේ අතට ගන්න. ඔබ දරුවාගෙන් අපේක්ෂා කරන්නේ අවංක සහ සාධාරණ ගතිගුණ සහිත චරිතයක් බව දරුවාට ඒත්තු ගන්වන්න. දරුවාට ආදර්ශයට ගැනීම සඳහා එවැනි යහපත් ගතිගුණ වලින් හෙබි චරිත හඳුන්වා දෙන්න.

“පුංචි කාලේ හොඳට හිටිය දරුවා දැන් මෙච්චර මුරණ්ඩු ඇයි ?” ලිපියට මෙතැනින් පිවිසෙන්න


SHARE