ගෘ
හස්ත හිංසනය ගැන අපි මීට කලිනුත් ඕනෑ තරම් කතා කරලා තියෙනවා. සමාජයේ සමාජගත වෙලා තියෙන මතයක් තමයි මොන තරම් හිංසන වලට ලක් වුවත් ගැහැණියගේ වගකීම පවුල් ජීවිතය ආරක්ෂා කර ගැනීම බව. අද කතා බහෙන් ඔබට ඉදිරිපත් කරන්නේ මේ ගැන පුළුල් විග්‍රහයක්. මෙය 1969 වසරේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සකස් කරන ලද ලිපියක් වන අතර, මෙවැනි සිදුවීම් අපේ රට තුල තවමත් සිදු වන බව අප ඔබව දැනුවත් කරන්නට කැමතියි.


ඇය සුමනා එදිරිවීර. ඇයගේ සැමියා වුනු ජයම්පති එදිරිවීර බීමත්කමට ඇබ්බැහි වූ අයෙක්. සුමනාගේ වරදක් නැතත් ඇයට පහර දීම මේ බීමත් මිනිසාගේ විනෝදාංශය වී තිබුණා.

ඇයට ඒ වන විට බිලිඳු දරු පැටව් හතර දෙනෙකු සිටියා. ඇය දරුවනුත් රැගෙන මහ ගෙදර ගියේ විඳින්නට වුනු දුක් ගැහැට ඉවසා ගත නොහැකිවයි.

සුමනාගේ මව තම දියණියගේ පිටෙහි නිල් වුනු ස්ථාන වල තැලුම් තෙල් තවරමින් ඇයගේ හිත හදන්නට වුනේ මෙහෙම කියමින්.

“මගේ දුවේ, අපි ගැහැණු. අපි ඉවසන්න ඕනේ. ගෑණියෙක් කසාදය කඩා ගන්නවා කියන්නේ ලොකු අවනම්බුවක්. අනිත් එක මේ නොදරුවෝ ගැන හිතපන්. මේ දරුවෝ ලොකු වෙලා තාත්තා ගැන අහද්දී උඹ මොකද කියන්නේ? මොනවා වුනත් දරුවෙක්ට තාත්තා කෙනෙක් ඕනේ.”

ඒ අතරේ ජයම්පති වෙනදා වගේ නැතුව, හොඳ ජැන්ඩි පහට ඇඳගෙන සුමනාව හොයාගෙන මහ ගෙදර ආවා. ඇවිත් සුමනාට ආයෙත් ගෙදර යන්න අඬ ගැහුවා.

එතකොට සුමනාගේ තාත්තා ඇවිත් සුමනාට තරවටු කරන්න පටන් ගත්තා.

“බලපන් අර කොල්ලා උඹව හොයාගෙන මෙහෙටම ඇවිත් තියෙන්නේ උඹට තියෙන හිතවත් කමට නෙවේද? මේ ගෙදර තව දීග දෙන්න කෙල්ලෝ ඉන්නවා. උඹ මෙහෙම කසාදෙ කඩාගෙන මෙහෙ වැටිලා ඉන්නවා කියලා ආරංචි වුනාම උඹේ නංගිලාව දීග දෙන්නේ කොහොමද? පිරිමි වුනාම කනවා, බොනවා තමයි. ගෑණු දැනගන්න ඕනේ ඉවසන්න.”

ඉතින් අන්තිමේදී සුමනා තීරණය කළා ගෙදර යන්න.

“මොනවා වුනත් දරුවන්ට තාත්තා කෙනෙක් ඕනෙනේ.” සුමනා තමන්ටම කියා ගත්තා.

ගෙදර ගිහින් ආයෙත් දවස් කීපෙකින් ජයම්පතිගේ පරණ පුරුදු යුද්ධය පටන් ගත්තා. තව අවුරුදු දෙකක් ගත වුනේ සුමනාව තවත් දරුවෙක්ගේ මවක් කරමින්. කැදැල්ලට දරුවෝ එකතු වුනාට, කන්න බොන්න ආදායම නම් වැඩි වුනේ නැහැ. හම්බෙන ආදායමත් ජයම්පති බොන්න වියදම් කරන නිසා සුමනා වැටුනේ ලොකු අමාරුවක. ඉතින් ඇය ආයෙත් ඇගේ දුක් ගැනවිල්ල ඇගේ අම්මා වෙත ගෙන ගියා.

“අම්මේ, මම පොල් ගෙඩි ටික විකුනලා හරි මගේ දරුවන්ට කන්න දෙන්නම්. මට මේ මිනිහත් එක්ක ඉන්න බැහැ. මේ මිනිහට දරුවෝ හදන සිහිය මිසක්, මුන්ට කන්න බොන්න දෙන්න සිහියක් නැහැ.” සුමනා කිව්වේ හඬා වැටෙමින්.

ඉතින් සුමනාගේ අම්මා දරුවෝ රොත්ත දිහා හොඳින් බැලුවා. එක දැරියකගේ බඩ පිම්බිලා ඇවිත් තියෙන විදිහ දැක්කම ඇයට තේරුම් ගියා ඒ මන්දපොෂණයේ ලක්ෂණයක් බව.”

“පවුල කඩා ගන්න එපා බං දුවේ. මට මේ පොඩි එකීව දියන්. මම කොහොම හරි කන්න බොන්න දීලා මේකිව හදා ගන්නම්.”

“එතකොට අම්මේ ඉතිරි එවුන්?”

“අපේ අයියගේ දුවට ළමයි නෑනේ. මම ඒකිටත් කියන්නම් උඹලට උදව් කරන්න කියලා. උඹ පවුල ආරක්ෂා කර ගනින්.” කියපු සුමනාගේ අම්මා එක දැරිවියක්ව මහ ගෙදර ගෙනිච්චා.

අර දරුවෝ නැහැ කියපු නෑනා තව දුවෙක්ව අරගෙන ගියා.

ඔය විදිහට සුමනාට දරුවන් 6ක් ලැබෙන තුරුම පරණ පුරුදු යුද්ධයම ගියා.

ඉතින් තව තීරණාත්මක දවසක් උදා වුණා. ගෙදර හිටපු වැඩිමල් පිරිමි ළමයා දැන් තේරෙන වයසකට ඇවිල්ලයි තිබුනේ. තමන්ටයි, තමන්ගේ සහෝදර සහෝදරියන්ටයි, තමන්ගේ අම්මටයි හේතුවක් නැතුව පහර දෙන තාත්තා ගැන ඒ ලපටි හිතේ ඇති වෙලා තිබුනේ තදබල වෛරයක්.

බීගෙන ඇවිත් අම්මට පහර දෙන්න හදපු තාත්තට ඔහු කැත්තෙන් කෙටුවේ ඒ වෛරයෙන්මයි. ඉතින් ඒ දරුවට පුංචි අවධියේදීම පරිවාසේට යන්න වුණා.

 

වර්තමානයේ ඒ සුමනා අම්මා ඉන්නේ මහලු නිවාසෙක.

 

අර පරිවාසේට ගිය දරුවා නිදහස් වෙලා ඇවිත් අම්මට බැනලා තිබුනේ මෙහෙමයි.

“ඒ වගේ තිරිසනෙක් එක්ක වෙන් නොවී හිටිය එක අම්මගේ වරද. අම්මා නිසයි මගේ ජීවිතේම හිරේට නාස්ති වුනේ.”

 

ආච්චිලා ගාව, නැන්දලා ගාව හැදුනු දරුවෝ තමන්ගේ අම්මට චෝදනා කලේ මෙහෙමයි.

“අම්මලා ළමයි වැදුවා විතරයි. හදන්න එක එකාට දුන්නා. අපිට වුනේ ඒ ගෙවල් වල දැලි වලං හොදන්නයි, උයන්නයි, වැඩකාරකම් කරන්නයි. ළමයි 6ක් හදා ගන්නේ නැතුව පුළුවන් තරමට හදා ගන්න බැරි වුනාද?”

 

අම්මයි, තාත්තයි එක්ක හැදුනු ඉතිරි දරුවෝ තුන්දෙනා කිව්වේ මෙහෙමයි.

“අපි ඉස්සර මොන තරම් බයෙන් ගැහෙනවද තාත්තා බීගෙන ගෙදර එද්දී. නොකරපු වැරදි වලට අම්මටයි, අපිටයි ගහද්දි. ඒ බය අපේ හිත් වල තාමත් තියෙනවා. පොඩි දෙයක්වත් කර ගන්න බැහැ අපිට. අලුත් අත්දැකීමක් ලැබෙනකොට මුළු ඇඟම ගැහෙන්න පටන් ගන්නවා. අම්ම ගොඩක් පව් තමයි. ඒත් අම්මට තිබුණා ඒ මනුස්සයව ඒ කාලෙදිම අත ඇරලා දාන්න. අපිට මොකටද එහෙම තිරිසන් තාත්තෙක්? අම්මා තාත්තට වශී වෙලානේ හිටියේ. අපරාදේ අන්තිමට අයියත් හිරේ ගියා.”