ද කාලයේ තමන්ගේ දරුවාගේ විභාගය ලං වුණාම දෙමව්පියන්ට ලොකු ආතතියක් දැනෙනවා. නමුත් දෙමව්පියන් විදිහට ඔබ අමතක නොකළ යුතුයි ඔබේ දරුවාත් ඒ වෙද්දී විභාගය ගැන බයෙන් ඉන්නවා කියලා. මොකද ඒ විභාගය ඔවුන්ගෙයි. ඉතින් ඔබ ඔබේ ආතතියත් ඔවුන් පිට පටවන්න හදන්න එපා. විභාගයක් අමාරු වුණ ගමන්, අසමත් වුණු ගමන් සියදිවි නසා ගන්න පෙළඹෙන දරුවෝ ඉන්න රටක ජිවත් වෙන අපි මේ තත්වය මඟ හරවා ගන්න ඕනේ. ඉතින් අද අපි තීරණය කළා අපේ myfamily.lk වෙබ් අඩවිය හරහා ඒ ගැන කතා කරන්න.




01. ඔබේ දරුවා විභාගය ගැන ආතතියෙන්ද කියලා දැනගන්න.

ඔබේ දරුවා බියට පත් වුණාම හැසිරෙන හැටි ඔබ දන්නවා ඇති. ඊට අමතරව මේ ලක්ෂණ වලින් කීපයක් ඔබේ දරුවා පෙන්නුම් කරනවද කියලා බලන්න.

  • සමහර දරුවන් තමන්ගේ හිතේ තියෙන බය විවෘතව දෙමව්පියන්ට හෙළි කරනවා (ඉතා සුළු පිරිසක්).
  • තවත් සමහරු තමන් විභාගයට සූදානම් නැති බව නිතරම කියනවා.
  • තමන් අසමත් වුණොත් මොකද කරන්නේ කියලා නිතරම අහන්න පටන් ගන්නවා.
  • සමහර දරුවන්ට හැමදේම අමතක වෙන ස්වභාවයක් එනවා.
  • එක දෙයකට අවධානය යොමු කර ගන්න බැරි ස්වභාවයක් එනවා.
  • සමහර දරුවෝ පුංචි නින්දක්වත් නොලබා පොත දිහා බලාගෙන ඉන්න පෙලඹෙනකොට, තවත් සමහරු වෙනදාට වඩා වැඩි කාලයක් නිදා ගන්න පෙළඹෙනවා. මේ තත්වයන් දෙකම හොඳ නැහැ.
  • ප්‍රතිඵල ගැන තමන්ට විශ්වාසයක් නැති බව නිතරම කියන්න පටන් ගන්නවා.
  • නිතරම බඩේ අජිර්ණයන් වැළදෙන්න පටන් ගන්නවා.
  • තමාටම හානි කර ගන්න පෙළඹෙනවා.

02. අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්න එපා.

පාඩම් කරන්න උනන්දු කලාට කමක් නැහැ. “95%ට වඩා ලකුණු ගන්න, අනිවාර්යෙන් A ගන්න” කියලා දරුවෝ මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්න එපා. මොකද ඒකෙන් දරුවෝ උනන්දු වෙනවා වෙනුවට බය වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන ලකුණ ගන්න බැරි වුණොත් කියලා ඔවුන්ට චකිතයක් ඇති වෙන්න පටන් ගන්නවා.


03. සන්සුන් වන්න

සමහර දෙමව්පියෝ මේ වෙලාවේදී තමන් විභාග සමත් වුණු හැටි කියනවා. එහෙම නැත්තම් ඔවුන්ගේ අඟහිඟකම් හෝ වෙනත් ප්‍රශ්න නිසා ඔවුන්ට විභාග සමත් වෙන්න බැරි වුණු බව කියනවා. දරුවන්ට තමන්ට වඩා සැප සම්පත් තියෙන නිසා අනිවාර්යයෙන්ම සමත් වෙන්න පුළුවන් බව කියනවා. මේ වෙලාවේදි දරුවන්ට මේ කතා වලට අවධානය යොමු කරන්න පුළුවන් මනසක් නැහැ. ඒ නිසා මේ ක්‍රම වලින් ඔබේ ආතතිය ඔවුන් පිට පටවන්න උත්සාහ කරන්න එපා.


04. දරුවන්ගේ විවේකය ගැන උනන්දු වෙන්න.

කොයි තරම් පාඩම් කළත් ඔබේ දරුවා අසනීප වුණොත් විභාගයට හොඳින් මුහුණ දෙන්න බැරි වෙනවා. ඒ නිසා පාඩම අතරතුර දරුවන්ට කෙටි විවේකයක් ගන්නත් උපදෙස් දෙන්න. ඒ වගේම ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නත් උදව් කරන්න.


05. සන්සුන් වටපිටාවක් හදලා දෙන්න.

මේ වෙලාවේදී පාඩම් කරන දේවල් ධාරණය වෙන්න හොඳ සන්සුන් වටපිටාවක් තිබීම වැදගත්. සමහර ගෙවල් සන්සුන් වුණත්, අවට පරිසරය ඝෝෂාකාරී වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ළඟ තියෙන පුස්තකාලයක පාඩම් කරන්න යන්න දරුවාව යොමු කරන්න.


06. ඔවුන්ට පහසු වෙලාවක පාඩම් කරන්න අවසර දෙන්න.

සමහර දරුවන්ට උදේ පාන්දර පාඩම් කරන එක පහසුවක්. හුඟක් දෙනා කියන්නෙත් පාන්දර පාඩම් කරන එක හොඳයි කියලා. ඒත් ඔබේ දරුවාට පහසු රාත්‍රී කාලයේ පාඩම් කරන එක වෙන්න පුළුවන්. රාත්‍රී කාලයේ කැමැත්තෙන් පාඩම් කරන දරුවට ඒ වෙනුවට උදේට නැගිටලා පාඩම් කරන්න කියලා කරදර කරන්න යන්න එපා.


07. ඔබේ මානසිකත්වය නිවැරදිව සකසා ගන්න.

අපේ අධ්‍යාපන රටාව අනුව විභාගයකින් සමත් වීම, හොඳ ලකුණු ගැනීම ගොඩක් වැදගත්. ඒත් ලකුණු මත දරුවා ගැන තීරණය කරන්න බැහැ. ඔබේ දරුවාගේ සැබෑ හැකියාව සහ ආශාව තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය හෝ රූපලාවන්‍ය ශිල්පය ගැන නම් ඔවුන්ට ඒ මඟ යන්න උදව් කරන්න.


08. දරුවාගේ ආහාර ගැන සැලකිලිමත් වෙන්න.

දරුවාට නොකා නොබී පාඩම් කරන්න ඉඩ දෙන්න එපා. රැට හෝ උදේට පාඩම් කරනකොට දරුවට කිරි වීදුරුවක් හදලා දෙන්න. තෙල් වැඩි කෑම වර්ග දෙන්න එපා. මේ දවස් වල කඩ කෑම කොහොමටවත් දෙන්න එපා. ඒ වෙනුවට නිවසේ හදන පෝෂ්‍යදායි ආහාර දෙන්න.

ඒ වගේම තමයි සමහර දරුවන්ට රෑට බත් කෑවම තද නිදි මතක් එනවා. ඒ නිසා රෑට සැහැල්ලු ආහාරයක් ලබා දෙන්න.

  • TAGS
  • 8
SHARE