සෑම නිවසකම වගේ දිනපතා කෙරෙන කාර්යන් රැසක් තියෙනවා. ඒ කාර්යන් කිරීමෙන් තමයි අපේ එදිනෙදා ජිවිතය සාමාන්‍ය පරිදි දුවන්නේ. සාමාන්‍යයෙන් නිවසේ වැඩ කිරීමේ වගකීම පැවරෙන්නේ නිවසේ සිටින ගෘහණියටයි. හැබැයි නිවසේ එදිනෙදා වැඩ කරනවා කියන එක ලේසි කාර්යක් නම් නෙමෙයි. පිරිමි හිතන්නේ කාන්තාවන්ට ගෙදර වැඩ ටික විතරයි කරන්න තියෙන්නේ කියල. මේ කාරණාව නිසාම නිවෙස් වෙල යම් අඩදබර පවා ඇතිවෙනවා. ඔබටත් ඒ අත්දැකීම් ඇතිනෙ!

අපි කවුරුත් කැමැති අපේ නිවෙස ඉතා පිරිසිදුවට තියෙන කොට. හැබැයි නිවස පිරිසිදු කිරීමේ කාර්ය කරන්නනම් අපි මැළිකමක් දක්වනවා. ඔබේ නිවසේ දරුවන් සිටිනවාද? දරුවන් සිටිනවානම් ඔබට ඔවුනුත් මේ කාර්යන් කිරීම සඳහා දායක කරගන්න පුළුවන්. නිවසේ එදිනෙදා වැඩ වලින් එකක් හෝ දෙකක් ඔබේ දරුවන් අතරත් බෙදාදෙන්න. ඔබේ දරුවන් ලවා ඒ වැඩ කරගන්නේ කෙසේද හා ඔවුන් ඒවා කිරීමට මැළිකමක් දක්වන විට ඔබට කළ හැකි දෑ මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.



∗ ඔවුන් කරන හා භාවිතා කරන දේවල් ඔවුන් පිරිසිදු කළ යුතුයි

ඔවුන්ට ඔබ පහදා දිය යුත්තේ මේ ආකාරයටයි. නිවසේ නාන කාමරය හෝ වැසිකිළිය හැමෝම භාවිතා කරනවා. ඒ නිසා නාන කාමරය හෝ වැසිකිළිය පිරිසිදු කිරීම සඳහා හැමෝම දායක විය යුතුයි. හැකිනම් ඔබේ දරුවන් ලවා ඔවුන්ගේ ඇඳුම් පැලදුම් සෝදවන්නත් පුළුවන්. ඔවුන් ඒවා අඳිනවා නම් ඔවුන් තමයි ඒවා සෝදගන්නත් ඕනේ.


∗ ඔවුන් සතුව ඇති දෑ පවත්වාගැනීම ඔවුන්ගේ වගකීමක්

ඔවුන්ට අයිති ඔවුන් භාවිතා කරන දේවල් ඔවුන් පිරිසිදු කරගත යුතුයි වගේම ඒවා නඩත්තු කරගෙන පවත්වාගත යුතුයි. උදාහරණයක් වශයෙන් ඔවුන් පළදින සපත්තු පිරිසිදුකිරීම හා පවත්වාගැනීම ඔවුන්ගේ වගකීමක්.


∗ “අපි එක පවුලක්, හැමෝම එකිනෙකාට සහාය දැක්විය යුතුයි!”

එකිනෙකාට උපකාර කිරීමේ ඇති වටිනාකම පැහැදිලි කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ. නිවසේ යම් කර්යක් කිරීම මඟින් නිවසේ සිටින තව කෙනෙකුට පහසුවක් ඇතිවෙනවා නම් ඔබ එය කළ යුතුයි. එවිට අනෙකුත් සාමාජිකයනුත් ඔබ වෙනුවෙන් එවැනිම දෙයක් කරනවා. ඔබේ පවුලේ තරමක් වැඩිමහල් දියණියක් සිටිනවානම්, ඔබට ඇයගෙන් නිවසේ වැඩ ප්‍රමාණයක් කරවගන්න පුළුවන්. නිවසේ තව බාල දරුවන් සිටිනවානම්, ඔවුන්ගේ වැඩ කීපයක් වැඩිමහල් දියණියට භාර දෙන්න. හැබැයි ඒ වෙනුවෙන් ඔබ දියණියගේ යම් කාර්යන් ඔබ විසින් නිමකර ඇයටත් උපකාරයක් කළ යුතුයි. එවිට තමයි නිවසේ සාමාජිකයන් අතර උපකාර හා සහයෝගය දැක්වීම වැඩි දියුණු වෙන්නේ.


∗ කාර්යන් කිරීම දරුවන් ප්‍රතික්ෂේප කලොත්?

මේ ලිපියේ සඳහක් කර ඇති දේවල් ඔබේ දරුවන් ලවා කරවාගැනීමේදී මේ ගැටළුව ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නේ, ඔවුන් ඔබ කිය දේ කිරීමට ප්‍රතික්ෂේප කළොත්? ඔබ දැන් මොනවද කරන්නේ? ඔබ යම් වැඩක් කිරීමට දරුවන්ට කීමේදී ඔවුන්ගෙන් පහත දක්වා ඇති පිළිතුරු ඔබට ලැබෙන්නත් පුළුවන් :

  • “අම්මේ, මට බෑ!”
  • “බෑ, කරුණාකරලා!”
  • “මිනිත්තුවක් ඉන්න!”
  • “මම කරන්නම ඕනෙද?”
  • “මම ඒක පස්සෙ කරන්නම්!”

මෙවැනි පිලිතුරු ඔවුන්ගෙන් ලැබුණොත් ඔබ වගබලාගත් යුත්තේ තරහ නොගැනීමටයි. තරහගෙන ඔබට මේ දේවල් දරුවන් ලවා කරවාගන්න බෑ. ඉන් ඔබේ මානසික ආතතිය වැඩිවෙන එක විතරයි වෙන්නේ. අපි සීමාව ඉක්මවා තල්ලු කරන්න යාමෙන් දරුවන් මුරණ්ඩු වෙන්නත් පුළුවන්. පළමුව කළ යුත්තේ සංවේදනාත්මකව ඔවුනට කතා කිරීමයි. ඔබේ දරුවාට කරුණාවෙන කියන්න, “දුව, ඔයාගෙ රෙදි ටික හෝදගන්න. නැත්තම් හෙට අඳින්න ඔයාට ඇඳුම් නැතිවෙයි”. ඔබ ඒ පැවසූ කාර්යය දුව අතින් සිදුවුණේ නැතිනම්, දැන් ඇයට කෙලින් ඒ බව පැවසිය යුතුයි. උදාහරණයක් වශයෙන්, “දුව, කරුණාකරලා ඔයාගෙ රෙදි ටික හෝදගන්න”.

ඔබේ දරුවා මේ ගැන ඔබ සමග වාදයකට පැටළුනොත්, නැවත වතාවක් ඇයට පවසන්න, “දුව, කරුණාකරලා ඔයාගේ රෙදි ටික හෝදගන්න”. හැබැයි මතකයේ තියා ගන්න, ඔබේ කටහඩේ කිසිම තරහ ගතියක් තියෙන්න බෑ.


මතකයේ තබාගන්න!

දරුවන් මේ කාර්යන් කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව ගැන ඔබ ඇහ ගහගෙනම සිටිය යුතුයි.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here