ගේ දෝණි මම කියන දේ අහන්නෙම නැහැ. මම දෝණිට හැමදාම කියනවා එයා සෙල්ලම් කරලා ඉවර වුනාට පස්සේ එයාගේ සෙල්ලම් බඩු ආපහු එයාගේ කබඩ් එකටම දාන්න කියලා. ඒත් දෝණි මම කියන දේ කවදාවත් අහන්නේ නැහැ. ඉතින් මමම ඒවා අස් කරලා දානවා. මේ අම්මා කෙනෙකුගෙන් අප වෙත ලැබුණු පැමිණිල්ලක්. ඉතින් අද අපි ඉදිරිපත් කරන්නේ මේ ගැන ලියවුනු සවිස්තරාත්මක ලිපියක්.



 

අපි වැඩි දුරටත් කරුණු විමසලා බලනකොට මුල වරද්දාගෙන තිබුනේ මේ අම්මමයි. ඇය ඇගේ දියණියගේ හිත රිදවන්න බයයි. සමහර පොඩි දරුවෝ මුරණ්ඩු කමටත් එක්ක මුලින් දෙමව්පියන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. නමුත් එතැනදී දෙමව්පියෝ පරාජය භාර අරගෙන දරුවෝ කල යුතු වැඩ තමන් විසින්ම කරන්න ගියාම දරුවෝ ඒක පුරුද්දකට ගන්නවා. ඊට පස්සේ දෙමව්පියෝ මොන තරම් ආයාචනා කලත් දරුවෝ වෙනස් වෙන්නේ නැහැ.

 

  • හොඳ දේ පුරුදු කරන්න හිත රිදවන්න බය වෙන්න එපා

දරුවෝ වගකීම් ඉටු කරන්න ගෙදරින් පුරුදු වුනේ නැත්තම් ඔවුන් කොහොමද අනාගතයේදී සමාජයට මුහුණ දෙන්නේ කියලා නිතරම හිතන්න. ඔබේ දරුවා සමාජයට ගිහින් අසරණ වෙනවා දකින්න කැමති නැත්තම්, සමාජයෙන් බැනුම් අහලා ප්‍රතික්ෂේප වෙනවා දකින්න කැමති නැත්තම් ඔබ දරුවාව නිසි ලෙස පුහුණු කල යුතුමයි.

මේ වගේ අවස්ථාවකදී මුල සිටම ඔබ ස්ථිර තිරණයක සිටිය යුතුයි. දරුවා ක්‍රීඩා කල පසු ක්‍රීඩා භාණ්ඩ අස් කල යුතු වීම අනිවාර්ය බවත්, නැති නම් ඊළඟ දිනයේ සිට ක්‍රීඩා කිරීමට ක්‍රීඩා භාණ්ඩ ලබා නොදෙන බවත් දරුවාට අවධාරණය කල යුතු වෙනවා.  

 

  • ඔබ ආදර්ශමත් මවක් හෝ පියෙක් වන්න  

ඔබ වැඩිහිටියෙකු ලෙස ඔබට ඇති වගකීම් නිසි ලෙස ඉටු කරන්නෙකු වෙලා දරුවට පෙන්වන්න ඕනේ. දරුවන්ට යහ මඟ පෙන්වා දීමට ඇති හොඳම ක්‍රමය එයයි. ඔබ ඔබේ ආයතනයේ ඉටු කරන්නට ඇති වගකීම් ගැන දරුවන් ඉදිරියේදී විවේචනාත්මක මුඛයෙන් කතා කරනවා නම්, ඔබ කොහොමද දරුවාව නිසි මඟ ගෙනියන්නේ? ඔබ ඔබේ වගකීමක් හොරෙන් පැහැර ඇරලා ඒ ගැන ආඩම්බරයෙන් කතා කරනවා දරුවට ඇහුනොත් මොනවා වේවිද? මේ නිසා ඔබ ඔබේ වගකීම් නිසි පරිදි ඉටු කරනවා වගේම, ඔබ වගකීම් ඉටු කරන සාර්ථක පුද්ගලයෙක් වීම පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන්න. වගකීම් ඉටු කිරීම සාර්ථක පුද්ගලයෙකුගේ ලක්ෂණයක් බව දරුවන්ගේ සිත් වලට කා වද්දවන්න.

 

  • දරුවන්ට ඉටු කල නොහැකි වගකීම් පවරන්න එපා

ඕනෑම අයෙකුට ලබා දිය යුත්තේ ඔහුට ඉටු කිරීමට හැකියාව ඇති වගකීමය. දරුවෙකුට වුනත් එහෙමයි. ඔබේ රැකියා ස්ථානයෙන් ඔබට ඉටු කිරීමට අපහසු වගකීමක් ඔබේ කර පිට පැටෙව්වොත් ඔබට කෙතරම් අපහසුද කියලා ඔබ දන්නවා. මේ නිසා ඔබ දරුවෙකුට පැවරිය යුත්තේ දරුවාගේ පරිචයට ගැලපෙන වගකීම්ය.

කුඩා දරුවෙකුට ඉටු කල හැකි වගකීම් වන්නේ උදෑසන අවදි වූ පසු ඇඳ අස් කිරීම, ක්‍රීඩා කල පසු ක්‍රීඩා භාණ්ඩ අස් කිරීම, තමාගේ කාමරය පිරිසිඳුව තබා ගැනීම වැනි දේවල්ය.

කුඩා දරුවෙකුගේ පරිචයට නොගැලපෙන වගකීම් ලෙස පවුලට ආහාර සැකසීම, නිවසේ සියලු සාමාජිකයන්ගේ රෙදි සේදීම වැනි දේවල් හඳුන්වා දෙන්න පුළුවන්.

 

  • උපක්‍රමශීලි වන්න

දරුවෙකුට වගකීමක් පැවරීමේදී දරුවා සතුටු දෙයක් ලබා දෙන්නට පොරොන්දු වන්න. උදාහරණ ලෙස සෑම දිනකම ඇඳ අස් කල පසු රසවත් කිරි වීදුරුවක් දෙන බව පවසන්න. එවිට දරුවා ඇඳ අස් කිරීමට ප්‍රමාද වුවොත්, දරුවාට කිරි වීදුරුව ලැබෙන්නටද පරක්කු වෙනවා. මේ බව දන්නා නිසා දරුවා අවදි වූ විගස ඇඳ අස් කිරීමට පෙළඹේවි.

පාසලේදී ලබා දුන් ගෙදර වැඩ නිම කල පසු දරුවාට ක්‍රීඩා කිරීමට පිටතට යාමට ඉඩ දෙන බව පවසන්න. එවිට දරුවා ඉක්මනින් පාසලේ වැඩ නිම කරනු ඇත.

 

  • මඟ පෙන්වන්න

දරුවාට වගකීම් පවරද්දී එය නිවැරදිව සිදු කරන ආකාරය, පහසු ක්‍රම ආදිය දරුවාට දෙමව්පියන් විසින් කියා දිය යුතුයි. කල යුතු ආකාරය දරුවට කියා දීලා, එය කරන්න දරුවාට ඉඩ හරින්න.