ර්තමානය වන විට රූපවාහිනී හරහා හැම ව්‍යාපාරික ආයතනයක්ම වගේ තමන්ගේ ප්‍රචාරණ වැඩ කටයුතු සිදු කරනවා. ඉතින් මේවා දකින්නේ වැඩිහිටියන් විතරක් නෙවෙයි. රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න ඔබේ පොඩි දරුවන්ගේ දෑස් වලටත් මේ වෙළඳ දැන්වීම් හසු වෙනවා. මේ වෙළඳ දැන්වීම් වලට පුළුවන් ඔබේ දරුවාගේ තීරණ වලට සහ පෞරුෂයත්වයට බලපෑම් එල්ල කරන්න. අද myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න අපි තීරණය කළා.



වෙළඳ දැන්වීමක අඩංගු කරුණු, ගුණත්වය සහ ඉදිරිපත් කරන ක්‍රමය අනුව එය දරුවාට ධනාත්මක ලෙස මෙන්ම සෘණාත්මක ලෙසද බලපාන්න පුළුවන්.

ධනාත්මක බලපෑම්

  • සමහර වෙළඳ දැන්වීම් දරුවන්ට අලුත් දේවල් ඉගෙන ගන්න හොඳ මුලාශ්‍රයක් ලෙස කටයුතු කරනවා. විශේෂයෙන්ම රජයේ වෙළඳ දැන්වීම් වැනි වැදගත් අන්තර්ගතයක් සහිත වෙළඳ දැන්වීම් වල තොරතුරු දරුවාගේ සිතට කා වදිනවා. සාමාන්‍ය ඉගැන්වීමකට සාපේක්ෂව වෙළඳ දැන්වීමක් ඉදිරිපත් කරන විලාසය ආකර්ශනීය නිසා ඒවායේ දැනුම දරුවා වෙත ඉක්මනින්ම ගලා යනවා.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව විකාශය කරන වෙළඳ දැන්වීම් දකින දරුවාට එම ආහාර ලබා දීම පහසු වීම.
  • සබන්, දත් බෙහෙත් පිලිබඳ දැන්වීම් මඟින් දරුවාට සනීපාරක්ෂක පුරුදු හුරු කරවීමට අවස්තාව ලැබේ. එවැනි දැන්වීම් හරහා දිනපතා සබන් ගල්වා ඇඟ සේදීමට, දිනකට දෙවරක් දත් මදින්නට පෙළඹවීමක් දරුවා තුල ඇති වේ.
  • දරුවාට තමා යා යුතු මඟ, අනාගතයේදී කල යුතු රැකියාව පිළිබඳව මුල් බීජය දරුවාගේ සිත තුල පැල කරන්නට ඇතැම් වෙළඳ දැන්වීම් උපකාර කරනවා.
  • ඉතිරි කිරීම, නිවසේ වැඩ කටයුතු වලට උදව් වීම වැනි හොඳ පුරුදු දරුවා තුල ඇති කරන්නට ඇතැම් වෙළඳ දැන්වීම් උපකාර කරනවා.
  • සමාජයට අනුකම්පා කරන්නට, උපකාර ලැබිය යුත්තන්ට උපකාර කිරීම වැනි යහගුණ ඇතැම් වෙළඳ දැන්වීම් මඟින් දරුවාට උගන්වනවා.
  • පරිසරය සුරැකීම පිලිබඳ වෙළඳ දැන්වීම් හරහා පරිසරය සුරකින්නට දරුවාව පොළඹවනවා.
  • මත්ද්‍රව්‍ය, දුම්වැටි වැනි දේවල විනාශකාරී භාවය හෙළි කරන වෙළඳ දැන්වීම් මඟින් දරුවා ඒවා පිළිකෙව් කරන්නට පොළඹවනවා.  

සෘණාත්මක බලපෑම්

  • වෙළඳ දැන්වීම් මඟින් පෙන්වන භාණ්ඩ වර්ගයම මිලදී ගන්නට ඕනෑ යයි කියමින් මුරණ්ඩු වන දරුවන් බිහි වෙන්නත් මෙය හේතුවක් වෙනවා. එයට හේතුව වන්නේ වෙළඳ දැන්වීම් වල ඉදිරිපත් කිරීම සෘජුවම දරුවන්ගේ මනස ඇද බැඳ ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කරන්නට ඔවුන් සමත් වීමයි.
  • වෙළඳ දැන්වීම් වල අර්ථය නිසි ලෙස තේරුම් ගන්නට දරුවා අපොහොසත් වුවොත්, එහි කියවෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් කිරීමට දරුවා පෙළඹෙන්න පුළුවන්.
  • සමහර වෙළඳ දැන්වීම් වල භයානක ක්‍රියාවන් අඩංගු වෙනවා. ඇතැම් දරුවන් නොදැනුවත්කමට මේවා අනුකරණය කරන්නට යා හැකියි.
  • ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳාම වැඩි කර ගන්නට දිගින් දිගටම ආකර්ශනීය වෙළඳ දැන්වීම් නිපදවනවා. මේවා නිතර ඇස ගැටීමෙන් දරුවාගේ මිලදී ගැනීමේ අවශ්‍යතා සීග්‍රයෙන් ඉහල යනවා.
  • වෙළඳ දැන්වීම් සිත් ඇදගන්නා සුළු කිරීම සඳහා ඇතැම් වෙලාවල් වලට බොරු සංකල්ප, දර්ශන එකතු කරනවා. වැඩිහිටියන් මේවා අසත්‍ය බව තේරුම් ගත්තත් දරුවන්ට එය තේරුම් ගත නොහැකි වෙනවා. ඇතැම් දරුවන් ඒවා විශ්වාස කරනවා.
  • සුවපහසු ජීවිතයක් ගත කරන්නට හොඳම දේ මිලදී ගත යුතුය යන අදහස දරුවන්ගේ සිත් තුලට කා වදිනවා.
  • දරුවන් වෙළඳ දැන්වීම් හරහා නිතර නිතර දක්නට ලැබෙන සන්නම් වලට හුරු වෙනවා. එකම අරමුණ ඉෂ්ඨ කල හැකි වෙනත් මිල අඩු සන්නම් වර්ග පැවතුනත් දරුවන් ඒවා මිලදී ගන්නවාට කැමති වන්නේ නැහැ.
  • ක්ෂණික ආහාර, රසකාරක යෙදූ ආහාර සහ කෘතීම බීම වර්ග තරුණ වයසේ දරුවන් ඉලක්ක කර ගනිමින් වෙළඳ දැන්වීම් නිපදවනවා. එහි බලපෑමක් ලෙස දරුවන් අහිතකර ආහාර රටාවන්ට හුරු වෙනවා.
  • දරුවා තෝරනා ක්‍රීඩා භාණ්ඩ, ඇඳුම් සහ සුඛෝපභෝගී භාණ්ඩ තීරණය කරන්නට වෙළඳ දැන්වීම් ප්‍රභල ලෙස බලපානවා.
  • ළමා මනස හරිම මෘදුයි. වෙළඳ දැන්වීම් මඟින් පෙන්වන මිල අධික දෑ තමා සතු කර ගැනීමට නොහැකි වීම, ඒවා තම මිතුරන් සතු වීම වැනි හේතු ගැන සිතමින් ඔවුන් තම ආත්ම සම්මානය අහිමි කර ගන්නවා.
  • වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් සෑම වෙළඳ දන්වීමකටම කාන්තාවක් යොදා ගන්නට උත්සාහ කරන්නේ අවධානය දිනා ගන්නයි. ඇතැම්විට කාන්තාවකගේ මැදිහත්වීමක් නැති භාණ්ඩ වලටත් ඔවුන් කාන්තා රුවක් යොදා ගන්නවා. කාන්තාව යනු වෙළඳ භාණ්ඩයක් යන අදහස ළමා මනසට දැනෙන්නට ඉඩ තිබෙනවා.
  • ඇතැම් වෙළඳ දැන්වීම් වල ඇතැම් භාණ්ඩ බාල භාණ්ඩ ලෙස හුවා දක්වමින් ඒවා භාවිතා කරන්නන්ව සමච්චලයට ලක් කරනවා. ඒවා හිතට ගන්නා දරුවනුත් භාණ්ඩ වර්ග බාල භාණ්ඩ හා අනර්ඝ භාණ්ඩ ලෙස වෙන් කරන්නටත්, බාල භාණ්ඩ භාවිතා කරන්නන් දෙස අවඥාවෙන් බලන්නටත් හුරු වෙනවා.
  • වෙළඳ දැන්වීම් වල ආකර්ෂණිය බව වැඩි කරන්නට යොදන වැරදි දේවල් (රැවටීම්, බොරු කීම්, අන් අයව විහිලුවට ලක් කිරීම වැනි පුරුදු) දරුවන් ආදර්ශයට ගන්නවා.   

 


SHARE