වකගේ භූමිකාව, බිරිඳකගේ භූමිකාව ගැන සමාජයේ නම් මහා ඉහලින් කතා කරනවා.  ඒත් ඔය කියන තරම් ඉහල ස්ථානයක් පවුලේ කාන්තා චරිතයට ලැබෙනවද? ඒ ගැන තමයි අද අපි විමසලා බලන්නේ.



 

“අම්මේ, කොහෙද මගේ මේස් එක?” දා හත් හැවිරිදි සුපුන් කෑ ගහද්දි කුසුමා දුවගෙන ඇවිත් අල්මාරිය අවුස්සලා අවුස්සලා මේස් කුට්ටමක් සුපුන්ට හොයලා දුන්නා.

“කුසුමා, මගේ බත් එක බැන්දද? දන්නේ නැද්ද මට පරක්කු වෙනවා කියලා?” ඒ අස්සේ කුසුමාගේ සැමියා නදීමාල් බෙරිහන් දෙනවා.

“ආ, දවල් බත් එක බැඳලා මෙසේ උඩ. තේ එකත් හදලා තියෙන්නේ. බීලා යන්න.” කුසුමා කෑම මේසය ගාවට දුවන ගමන් කියනවා.

“මට තේ බිබී ඉන්න වෙලාවක් නැහැ. මාව කලින් ඇහැරවන්න දන්නේ නැද්ද? දන්නවනේ මම එලාර්ම් එක off කරලා ආයේ නිදා ගන්නවා කියලා. තේ එක තමුසෙම බී ගන්නවා.” තරහින් කියපු නදීමාල් වැඩට පිටත් වුණා.

කුසුමා හිස පාත් කරගෙන සුසුමක් හෙලුවා.

“අම්මේ, මමත් යනවා.” කියපු සුපුනුත් පාරට දුවගෙන ගියා.  

පුතාගේ කාමරේට ඔලුව දාපු කුසුමාට ඉබේටම තවත් දිග සුසුමක් හෙලුනා.

සුපුන්ගේ කාමරය යක්කු නටපු පිට්ටනියක් වගෙයි. සුපුන් රෑට ඇඳගෙන හිටපු කලිසම ඇඳෙන් පහලට වැටිලා තිබුනා. කමිසය පුටු පත්තේ රැඳිලා තිබුනේ යන්තමින් වගේ. කොට්ටෙන් කොට්ට උරය ගැලවිලා ගිහින්. ඇඳ රෙදි, පොරවන රෙදි එකට ගුලි වෙලා ඇඳ මුල්ලක තිබුනා.

 

පවුලේ අයව මුල සිට නිසි පරිදි පුහුණු නොකිරීමත්, තමාගේ මව් භූමිකාව සේවිකාවකගේ භූමිකාව බවට පත් කර ගැනීමේත් වරද හදා ගන්න බැරි තරමට දික් ගැහී ඇති බව කුසුමාට තේරුණා.

 

දරුවට තමන්ගේ වැඩ කර ගන්න හැටි පොඩි කාලේ ඉඳගෙන පුරුදු නොකරපු නිසා, දරුවාගේ හැම සුළු දෙයක්ම තමන්ගේ අතින් කරන එක හොඳ අම්මා කෙනෙකුගේ ලක්ෂණයක් කියලා හිතාගෙන හිටපු නිසා කුසුමට දැන් ගොඩක් දේවල් වැරදිලා.

දරුවා වගකීම් රහිත, නොසැලකිලිමත් පුද්ගලයෙක් විදිහට ටිකෙන් ටික වැඩෙන හැටි කුසුමට බලාගෙන ඉන්න වෙලා.  

 

“මාව කලින් ඇහැරවන්න දන්නේ නැද්ද? දන්නවනේ මම එලාර්ම් එක off කරලා ආයේ නිදා ගන්නවා කියලා.” නදීමාල් විටින් විට මේ වගේ කතා කියලා තමන්ගේ වැරදිත් තමන්ගේ බිරිඳ පිටට දමනවා.

එලාර්ම් එක වදිනකොට ඇහැරෙන්න බැරි වීම තමන්ගේ වරදක්. ඒත් ඔහු ඒ වරද පටවන්නෙත් තමන්ගේ බිරිඳගේ පිටට.

 

අපේ පවුල් ඇතුලේ කාන්තාවට ලැබෙන්නේ මේ විදිහේ සැලකිලි නම් අපි අර මහා ඉහලින් කතා කරන මාතෘත්වය කියන මාතෘකාව ඉබේටම පුස්සක් වෙනවා.

 

මේ වගේ තත්වයක් පවුල ඇතුලේ උදා නොවන්නට නම් පවුලේ හැමෝම දැනුවත් වෙන්න ඕනේ.

දරුවන්ට ආදර්ශමත් විදිහට දෙමව්පියන් හැසිරෙන්න ඕනේ. පවුලේ පියා මවට අගෞරව කරද්දී, දරුවනුත් මවව සලකන්නේ අඩු තක්සේරුවෙන්.

පියා නිවසේ වැඩ රාජකාරි බෙදා ගන්න උනන්දු නොවී හැම වැඩක්ම මවගේ පිට පටවනවා නම් දරුවනුත් පුරුදු වෙන්නේ ඒ ක්‍රමයයි. ඒ වගේම පවුලේ කාන්තාවත් මුල සිටම අනිත් අය වෙනුවෙන් නොකළ යුතු දේ පවා කරන්නට උත්සාහ කරනවා නම්, අනිත් අය ඉබේටම එයට පුරුදු වෙනවා.

උදාහරණ විදිහට ඔබ ඔබේ පවුලේ සාමාජිකයන් කාපු පිඟන් ඔවුන්ට සෝදන්නට ඉඩ නොදී ඔබ හෝදනවා නම් එය ඔබ අනිවාර්යයෙන්ම කල යුතු රාජකාරියක් ලෙස ඔවුන් දකින්නට පුරුදු වෙනවා.

සාමාන්‍යයෙන් තමන් ආහාර ගත් පිඟාන සේදීම තමන්ගේ රාජකාරියක්. නමුත් පවුලේ මව එය භාර ගන්නට යෑමෙන් ඔවුන් එයට හුරු වෙනවා. එයට හේතුව වන්නේ තමන් විසින් කල යුතු වගකීම් අනුන් විසින් කර දෙද්දී තමන්ට පහසුවක් දැනෙන නිසයි.

පසුකාලීනව මවට අසනීප වුණා කියලා, වැඩ වැඩි වුණා කියලා මේ පුරුද්ද වෙනස් කරන්න හැදුවොත් මත ගැටුම් ගොඩක් සිදු වේවි.

පොඩි කාලේ ඉඳගෙන තමන්ගේ හැම වැඩේම අම්මට කියලා කර ගන්න පුරුදු වුන දරුවෙක් වැඩිහිටි වයසට ආවට පස්සේ තමන්ගේ වැඩ කර ගන්න පුරුදු කරන එක නම් ලේසි වෙන්නේ නැහැ.


SHARE