රුවන්ට පහර දීම පිළිබඳව විශාල කතිකාවතක් මේ වෙද්දී ගොඩ නැගිලා තියෙනවා. දරුවන්ට පහර දීම නීතියෙන් තහනම් කරලා තිබුනත්, දරුවන්ගේ වැරදි නිවැරදි කරන්න පහර දීමේ දඬුවම මඟින් හැකි වන බව විශ්වාස කරන දෙමව්පියන් සහ ගුරුවරුන් තවමත් ඉන්නවා. ඇත්තටම මෙය හරිම කනගාටුදායක තත්වයක්. ඉතින් අද අපි තීරණය කළා අපේ myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.



1 පහර දීම වැරදි ආදර්ශයක්

කුඩා මනසකට වැඩිහිටියන් විසින් ලබා දෙන ආදර්ශයන් දරුවාගේ ජීවිතය තුලට කා වදිනවා. ඔබ දරුවා වැරදි කරන විට පහර දෙනවා නම්, එයින් දරුවාට ලැබෙන ආදර්ශය වනුයේ වැරදි සිදු කරන ඕනෑම අයෙකු පහර ලැබිය යුතුය යන ආදර්ශයයි. දරුවාගේ දැක්මට අනුව යමෙකු යම් වරදක් කරන බව දැනුනොත් දරුවා තමාට වඩා බාල, වැඩිහිටි ඕනෑ අයෙකුට වුවත් පහර දෙන්නට පෙළඹෙනු ඇත. පාසලේදී මිතුරන්ට පහර දෙනු ඇත. එමඟින් මිතු දම් අහිමි වීම, අන් අයගේ අප්‍රසාදයට ලක් වීම වැනි බොහෝ අහිතකර තත්වයන්ට දරුවාට මුහුණ දෙන්නට සිදු වනු ඇත.

2 දරුවාගේ සිතේ තමා ගැන ඇති ගෞරවනීය හැඟීම පහල බැසීම

දරුවෙකුට පහර දීම කියන්නේ දරුවාට ශාරීරිකව රිදවීමක් පමණක්ම නෙවෙයි. එය දරුණු ලෙස දරුවාගේ මනසට බලපානවා. දරුවාගේ සිතේ තමා ගැනම පවතින ගෞරවය, වටිනාකම පහල යනවා. පහර වදින වදින වාරයක් පාසා තමා නරක දරුවෙකු බව දරුවාට සිතෙන්නට පටන් ගන්නවා.

3 දෙමව්පියන් ගැන දරුවාගේ සිතේ ඇති ගෞරවනීය හැඟීම පහල බහිනවා

දෙමව්පියන් පහරක් දුන් ගමන් දරුවා තමාට කීකරු වෙනවා කියලයි දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ. දරුවාව තමා වෙත නම්මවා ගන්න පහර දීම හොඳ ක්‍රමයක් කියලා හිතන දෙමව්පියෝ ඇත්තටම වැරදියි. දරුවා ඔවුන්ට ඉක්මනින්ම කීකරු වෙන්නේ බය නිසයි. නමුත් දරුවා ටික ටික වයසින් වැඩෙද්දී දෙමව්පියන්ට අගෞරව කරන්නත්, අකීකරු වෙන්නත් පෙළඹෙනවා. පහර දෙන දෙමව්පියන් හා දරුවා මානසිකව බැඳෙන්නේ නැහැ.

4 වරද සහ පහර දීම ගලපන්න බැහැ

වරදට දඬුවම පහර දීම කියලා තීරණය කරන දෙමව්පියන්ට අතර මඟදී මේ දෙක ගලපා ගන්න බැරි වෙනවා. දරුවා වරදක් කරද්දී නොරිදෙන්න පහරක් ගහලා, දරුවා නැවත නැවත එම වරද කරද්දී පහර දෙන ප්‍රමාණය වැඩි කරන දෙමව්පියන් ඉන්නවා. මෙහි අවසානය කුමක්ද? ඔබේ දරුවා වැරදි කරන වතාවක් ගණනේ ඔබ පහර දෙන වේගය සහ ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද? ඔබ එසේ සිදු කළහොත් අවසානයේදී එය ළමා අපයෝජනයක් බවට පත් වෙනවා.

5 එය විෂම චක්‍රයක් වෙනවා

විෂම චක්‍රයක් කියන්නේ යම් ගැටළුවක් විසඳීමට උත්සාහ කිරීමේදී තිබුණු තත්වය තවත් නරක අතට හැරීමේ ස්වභාවයටයි. දරුවාගේ වැරදි නිවැරදි කරන්නට කියලා හිතාගෙන පහර දුන්නම, දරුවාගේ චර්යාවන් ඇත්තටම යහපත් අතට හැරෙන්නේ නැහැ. පහර දීමෙන් ඇති වන වේදනාව නිසා දරුවාගේ සිත වේදනාවට පත් වෙලා, ඔහු තව තවත් අකීකරු වෙන්න පෙළඹෙනවා. සමහරවිට ඔබ කරන්න එපා කියන දේවල් ඔබට රහසින් කරන්න පෙළඹෙනවා.

6 දරුවා තුල කෝපයේ බීජ සැඟවීමක්

දෙමව්පියන් තමන්ගේ හිතේ තරහ පිට කර ගන්නේ දරුවන්ට පහර දීලා. එයින් දෙමව්පියන්ගේ හිතේ ඇති තරහ පිට වී ගියත්, එය දරුවාගේ සිත තුලට ඇතුළු වෙනවා. ඔබ වැඩිහිටියෙක් නිසා දරුවාට දරුවාගේ කෝපය ඔබ වෙතින් පිට කරන්නටත් බැහැ. ඔබ පහර දෙද්දී දරුවා තමාගේ සිතට නැගෙන කෝපය සිත තුලම නිධන් කර ගන්නවා. මෙය පසුකාලීනව දරුවාගේ මානසික ඒකාග්‍රතාවයට බලපානවා.

7 පහර දීමේ මතකය මැකෙන්නේ නැහැ

දරුවා වයසින් වැඩෙද්දී දරුවාගේ සිතින් දෙමව්පියන් තමාට පහර දුන් මතකය මැකී යන්නේ නැහැ. ඇතැම් දරුවන් දෙමව්පියන්ගෙන් පසුකාලීනව දුරස් වන්නට මෙය හේතුවක් වෙනවා. තවත් දරුවන් තමන් දෙමව්පියන් වූ පසු තමන්ගේ දරුවන්ටත් පහර දෙන්නට නිරායාසයෙන්ම පෙළඹෙනවා.

8 සමාජ විරෝධී හැසිරීමක් සහිත වැඩිහිටියන් බිහි වෙනවා

කුඩා වයසේදී පහර කෑම් වලට ලක් වුනු දරුවන් වැඩිහිටි වියේදී සමාජ විරෝධී හැසිරීම් වල නියැලෙන්නට වැඩි ඉඩක් ඇති බවත්, ආත්මාර්ථකාමී හැසිරීම් රටාවක් සහිතව හැසිරෙන බවත් සනාථ වී තිබෙනවා.


SHARE