බත් දරුවන් සිටින මවක් හෝ පියෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබට හිතෙනවා ඇති, “මම මේ ජීවිතේ සෑමදාම කරන්නේ එකම දේ නැවත නැවත කිරීමනෙ” කියලා. එක අතකින් බැලුවොත් ඒකත් ඇත්තක්. දත් මදිනව, නිවෙස පිරිසිදු කරනවා, දරුවන්ගේ වැඩ කරනවා. මේ දේවල් දිනපතාම චක්‍රයක් වගේ සිදුවෙනවා. ජීවිතය හරි ආකාරව ගමන් කිරීමට නම් අපිට සමහර දේවල් නැවත නැවත කරන්න වෙනවා. ඒවා “අවශ්‍යයෙන්ම” අපි කළ යුතුයි. ඔබේ නිවසේ සිටින වැඩෙන දරුවන්ගේ ආරක්ෂාවට, ඔබ ඔවුන්ට නැවත නැවත මතක් කරදිය යුතු නීති-රීති තියෙන බව ඔබ දන්නවානේ. මේ ලිපියෙන් එවැනි නීති-රීති 9ක් විස්තර කෙරෙනවා. ඔබේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ලිපිය කියවන්න.



∗ “පිහිනුම් ඇඳුමෙන්” ශරීරයේ වැසෙන ප්‍රදේශ කිසිවෙකුටත් අල්ලන්න බෑ

පිහිනුම් ඇඳුමින් ඔබේ ශරීරයේ වැසෙන ප්‍රදේශ පෞද්ගලිකයි. ඒවා ඒ විදියටම තියෙන්න හරින්න, හැමවිටම. මෙය ඔබේ දරුවන්ගේ මනසට කැවිය යුතු ඉතා වැදගත් පණිවිඩයක්. ඉන් ඔබේ දරුවන් “ළමා අපචාර” වලට ලක්වීමට එරෙහිවීමට කුඩා කල සිටම පුරුදුවෙනවා.


∗ දෙමව්පියන්ගෙන් කිසිම රහසක් සඟවන්න බෑ

මින් කියවෙන්නේ සෑම දෙයක්ම ඔවුන් ඔබට පැවසිය යුතු බවයි. දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් කුඩා දරුවන්ට සඟවන්න බෑ. මෙයත් ඉතා වැදගත් නීතියක්. වෙන වැඩිහියෙකුට ඔබෙන් කිසිම දෙයක් සඟවන ලෙසට ඔබේ දරුවන්ට පවසන්න බෑ. ළමා අපචාර හා මෙයත් සම්බන්ධයි. සමහර ආගන්තුක පුද්ගලයෙන් ඔබේ දරුවන්ව වැරදි වැඩ සඳහා යොදාගෙන, ඒ බව ඔබ දෙපලට නොපවසන ලෙස පවසන්න පුළුවන්.


∗ ඔබේ දරුවන් කුඩා වුණත්, නිවසේ ලිපිනය, දුරකතන අංකය, හා හදිසි ඇමතුම් අංකය මතකයේ තබා ගත යුතුයි

මේ කාරණාවත් දරුවන්ට නැවත නැවත පැවසිය යුතුයි. නිවසේ ස්ථාවර දුරකතයක් නැතිනම්, දරුවන් ඔබේ ජංගම දුරකතනය තිබෙන තැනවත් දැනගත යුතුයි.


∗ දෙමව්පියන්ට නොකියා වෙන කිසිම කෙනෙක් සමග කොහේවත් යන්න එපා

නිවෙස්වල මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් රැසක් මේ ආකාරයෙන් ආගන්තුකයන් විසින් රවටා රැගෙන කරන දේවල් ඔබ හොඳින් අසා ඇතිනේ? දරුවන්ට මෙහි බරපතලකම නැවත නැවත වටහා දිය යුතුයි. පෙර පාසල් යන දරුවන්ටත් මේ බව හොඳින් වටහා දෙන්න. දරුවන්, වෙන කිසිවෙකු සමග කොහේ හරි යනවා නම්, ඔබ දෙපලගෙන් එක් අයෙකුගෙන් හෝ අවසරය ගත යුතුයි.


∗ බියක් දැනුනොත් කෑගසන්න

ඔබ ලඟට ඇදෙන වැඩිහියෙක් නිසා හෝ ඔබ සමහ කතාකරන්න එන වැඩිහියෙක් නිසා ඔබට බියක් දැනුනොත්, “ආගන්තුකයෙක්” කියලා කෑ ගසන්න කියන්න. “නෑ” කියල කෑ ගසන්න එපා කියන්න. එවිට අවට මිනිසුන් සිතයි දරුවා දෙමව්පියන්ට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා කියලා.


∗ “නෑ” කියා එතනින් නික්ම යාම

යම් කෙනෙකු ඔබව අපහසුතාවයට පත්කරනවා නම්, හෝ ඔබට කිසිවෙක් නිසා හිතේ බියක් ඇතිවෙනවා නම්, “නෑ” කියා එතනින් නික්ම යන ලෙස ඔබේ දරුවන්ට උපදෙස් දෙන්න.


∗ දෙමව්පියන් හා සහෝදර/සහෝදරියන් පමණක් දන්නා “රහස් වචනයක්”

“ඔබේ දෙමව්පියන් වෙනුවට වෙන කිසිම කෙනෙක් ඔබව පාසලින් හෝ වෙන තැනකින් රැගෙන යාමට පැමිණි විට (ඔවුන්ව ඔබ හොඳින්ම දන්නවා වුණත්) අර “රහස් වචනය” ඔබට ඔවුන්ගෙන් අසන්න පුළුවන්. ඒ “රහස් වචනය” ඔවුන් දන්නවා නම්, බියක් නැතිව ඔබට ඔවුන්ගේ කාර් එකට නගින්න පුළුවන්” මේ බව ඔබේ දරුවන්ට පවසන්න. එක් වතාවක් ඒ “රහස් වචනය” භාවිතා කළ පසු එය අලුත් කළ යුතුයි.


∗ ප්‍රසිද්ධ ස්ථානයක අතරමං වූ විට

ප්‍රසිද්ධ හෝ සෙනඟ ගැවසෙන තැනක ඔබ අතරමං වූවොත් “අම්මේ හෝ තාත්තේ” කියා හයියෙන් කෑගසන්න. නැතිනම් දරුවන් කැටුව සිටින වෙනත් මවක් වෙත ගොස් පවසන්න, “මගේ දෙමව්පියන් මට මග හැරුණා” කියලා.


∗ ඔබට සිදුවුණු සෑම දෙයක්ම දෙමව්පියන්ට බිය නැතිව කියන්න

ඔබ බියවෙන හෝ ඔබට සිදුවුණු කිසිම දෙයක් දෙමව්පියන්ට කියන්න බියවෙන්න එපා. ඔබේ දරුවන්ට කුඩා කළ සිටම බියවෙන්න දෙන්න එපා. සියලුම දේ පැවසීමට ඔවුන්ට ඉඩ ප්‍රස්තාව තිබිය යුතුයි.

SHARE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here