පුං
චි දරුවෝ හරිම ආසයි කතන්දර අහන්න. හැබැයි ඔබ දරුවන්ට කියලා දෙන කතන්දර වලින් දරුවාට විනෝදයක් වගේම ආදර්ශයකුත් ලැබෙනවා නම් තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබේ දරුවාට ගැලපෙන කතන්දර කීපයක් කියා දෙන්න. මේ කතන්දර කීපය දරුවට කියා දීලා, ඒවායින් ගත හැකි ආදර්ශ ගැනත් දරුවට කියා දෙන්න ඔබට පුළුවන්.



ඉඳිකටු ගහ

ඔන්න එක කැලෑවක සහෝදරයෝ දෙන්නෙක් ජිවත් වුනා. මේ සහෝදරයන් දෙන්නගෙන් වැඩිමහලු සහෝදරයා ටිකක් ආත්මාර්ථකාමියි, නපුරුයි. ඒත් බාල සහෝදරයා නම් එහෙම නැහැ. මේ වැඩිමහලු සහෝදරයා නිතරම බාල සහෝදරයාගේ අලුත් ඇඳුම්, කෑම බීම උදුරා ගන්න පුරුදු වෙලා හිටියා. මේ සහෝදරයෝ දෙන්නා ජිවත් වුනේ දර කැපීමේ රැකියාව කරලයි. ඉතින් දවසක් වැඩිමහලු සහෝදරයා දර හොයාගෙන කැලෑව ඇතුලටම ගියා.

ඔහු එක ගහක අතු කපන්න හදද්දිම ඒ ගහ කතා කරන්න පටන් ගත්තේ ඔහුව පුදුම කරවමින්.

“අනේ මගේ අතු කපන්න එපා. ඔයා මගේ අතු කපන්නේ නැතුව මාව මුදා හැරියොත් මම ඔයාට රත්තරන් කාසි ලබා දෙන්නම්.” ගහ කියනකොට ඔහු පුදුමයට පත් වුනා. ඒත් රත්තරන් කාසි වලට තියෙන ආසාව නිසා ඔහු ඒකට කැමති වුනා.

ගහ ඔහුට රත්තරන් කාසි සියයක් ලබා දුන්නත් ඔහුට සතුටු හිතුනේ නැහැ.

“මට තව රත්තරන් කාසි දුන්නේ නැත්තම් මම ගහ මුලින්ම කපලා දානවා.” ඔහු ගහට තර්ජනය කරද්දී ගහට හොඳටම තරහ ගියා.

“මම ගාව රත්තරන් කාසි විතරක් නෙවෙයි තියෙන්නේ. ඉඳිකටුත් තියෙනවා.” කියපු ගහ ඉඳිකටු වරුසාවක් වැස්සෙව්වා. හදිසියේම ලැබුණු ඉඳිකටු ප්‍රහාරයෙන් තුවාල ලබපු වැඩිමහලු සහෝදරයා කෙඳිරි ගාමින් බිම ඇදගෙන වැටුනා.

හවස් වෙනකොට බාල සහෝදරයා වැඩිමහලු සහෝදරයාව හොයාගෙන කැලෑව ඇතුලට ආවා. බිම වැටිලා ඉන්න තමන්ගේ සහෝදරයව දැකපු ඔහු ලඟට ඇවිත් හෙමිට හෙමිට ඉඳිකටු ඔක්කොම ගැලෙව්වා.

තමන් මොන තරම් නපුරුකම් කලත් තමන්ට උදව් කරපු බාල සහෝදරයව වැළඳ ගත්තු වැඩිමහලු සහෝදරයා සමාව ඉල්ලුවා. මේක බලාගෙන හිටපු මැජික් ගහ මේ දෙන්නට තව රත්තරන් කාසි සියයක් තෑගී කළා.

 

මේකෙන් ඔබේ දරුවට ගන්න පුළුවන් ආදර්ශ කීපයක්ම තියෙනවා.

  • තමන්ට කරදර කරන කෙනෙක් වුනත් විපතට වැටුනම උදව් කරන්න පැකිලෙන්න එපා.
  • තමන් තව කෙනෙක්ට වරදක් කරපු බව දැනුනම සමාව ඉල්ලන්න පැකිලෙන්න එපා.
  • අනවශ්‍ය ලෝභ කම් හොඳ නැහැ.
  • තමන් හොඳ දේවල් කරනකොට ස්වභාව ධර්මය විසින් තමන්ට ත්‍යාග ලබා දෙනවා.

 

කොලුවාගේ උත්තරය

වැරද්දක් කරලා අහු වුනු ගමක් එක්ක රජතුමා හොඳටම උදහස් වුනා. ඔවුන්ව අමාරුවේ දාන්න හිතාගෙන රජතුමා මහ පුදුම ප්‍රශ්නයක් ඇහුවා.

“මේ ගමේ කපුටන් කී දෙනෙක් ඉන්නවද?” කියන එකයි රජතුමාගේ ප්‍රශ්නය වුනේ. ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි වුනොත් ගමේ හැමෝගෙම දේපල රාජසන්තක කරනවා කියලා මේ රජතුමා දැනුම් දුන්නා.

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගමේ කිසිම වැඩිහිටියෙකුට පුළුවන්කමක් තිබුනේ නැහැ. මේ වෙලාවේ ගමේ හිටපු කොලු පැංචෙක් ඉදිරියට ආවා.

“රජතුමනි මේ ගමේ කපුටන් දෙදහස් හාරසිය විසි හතරක් ඉන්නවා.” කොලු පැටියා දීපු උත්තරේ ගැන රජතුමා පුදුමයට පත් වුනා.

“කොහොමද නුඹ ඒක හරියටම කියන්නේ?” රජතුමා ඇහුවා.

“රජතුමනි ඔබේ හේවායන්ට කියන්න ගමේ ඉන්නා කපුටන් ගණන ගණන් කරලා බලන්න කියලා. බැරි වෙලාවත් මම කියපු ගානට වඩා කපුටෝ හිටියොත් ඒ කියන්නේ එහා ගමෙන් කපුටෝ අපේ ගමේ කපුටෝ මුණ ගැහෙන්න ඇවිත් කියන එකයි. මම කියපු ගානට වඩා කපුටෝ අඩුයි නම්, ඒ කියන්නේ මේ ගමේ කපුටෝ එහා ගමේ කපුටු යාළුවො මුණ ගැහෙන්න ගිහින් තියෙනවා කියන එකයි.” කොලුවා යටහත් පහත්ව උත්තර දෙද්දී රජතුමා නිරුත්තර වුනා.

 

මේකෙන් ඔබේ දරුවට ගන්න පුළුවන් ආදර්ශය  

තැනට සුදුසු ලෙස උත්තරයක් දෙනවා වගේම, ඒ උත්තරය පැහැදිලි කරන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.

දෙවන කොටසට පිවිසෙන්න