පුං
චි දරුවෝ හරිම ආසයි කතන්දර අහන්න. හැබැයි ඔබ දරුවන්ට කියලා දෙන කතන්දර වලින් දරුවාට විනෝදයක් වගේම ආදර්ශයකුත් ලැබෙනවා නම් තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබේ දරුවාට ගැලපෙන කතන්දර කීපයක් කියා දෙන්න. මේ කතන්දර කීපය දරුවට කියා දීලා, ඒවායින් ගත හැකි ආදර්ශ ගැනත් දරුවට කියා දෙන්න ඔබට පුළුවන්.


 

පළමු ලිපියට පිවිසෙන්න 

 කොටියා ආවෝ

ඔන්න එක ගමක දඟ කොලු පැටියෙක් හිටියා. මේ දරුවාගේ පවුලේ අය ජීවත් වුනේ බැටලුවන්ව බලාගෙනයි. කොලු පැටියා ටිකක් වයසින් වැඩුනම, තාත්තා තීරණය කළා බැටලුවන්ව බලා ගන්න මේ දරුවාව යවන්න. දරුවා හරිම කැමැත්තෙන් බැටළු රංචුව අරගෙන පිට්ටනියට ගියා. ටික වෙලාවක් යනකොට ඔහුට මහා කම්මැලිකමක් දැනෙන්න පටන් ගත්තා. තණකොළ බුදින බැටළුවන් දිහා බලාගෙන ඉන්නවට වඩා දඟ වැඩක් කරන්න තිබුනා නම් හොඳයි කියලා මේ දරුවට හිතෙන්න ගත්තා.

ටිකක් කල්පනා කරපු දරුවා හයියෙන් “කොටියා ආවෝ, කොටියා ආවෝ” කියලා කෑ ගහන්න ගත්තා. ඒ සද්දේ ඇහුනු ගම්වාසින් පොලු මුගුරු අරගෙන දුවගෙන ආවේ කොටියාගෙන් බැටළුවන්ට කරදරයක් වෙයි කියලයි.

ඒක අර කොලු පැටියට හරිම විනෝදයක් වුනා. දරුවා බිම පෙරලි පෙරලි හිනා වෙද්දී ගම්වාසින් ආපහු ගියේ දරුවට බැන බැන.

මේ කොලුවා ඊළඟ දවසෙත් මේ නරක වැඩේම කළා. එදාත් ගම්වාසින් රැවටිලා ආපහු හැරිලා ගියා. තුන් වෙනි දවසේ දරුවා නොහිතපු විදිහට ඇත්තටම කොටියා ආවා. දරුවා කොච්චර කෑ ගැහුවත් එදා ගම්වාසින් බැටලුවන්ව බේර ගන්න දුවගෙන ආවේ නැහැ. ඔවුන් හිතුවේ දරුවා එදාත් කෑ ගහන්නේ බොරුවට කියලයි.

ඉතින් එදා මේ දරුවට තමන්ගේ බැටළු රංචුවෙන් තුන් දෙනෙක්ම අහිමි වුනා.

 

මෙයින් ලබා ගත හැකි ආදර්ශය

අනිත් අයගේ අවධානය ගන්න හිතාගෙන බොරු කියන්න හොඳ නැහැ. එතකොට තමන්ට ඇත්තටම කරදරයක් වුනු දවසටවත් කවුරුවත් උදව්වට එන්නේ නැහැ.  

 

ලෝභ රත්තරන්

ඔන්න එක ගමක ගොඩක් ලෝභ පුද්ගලයෙක් ජිවත් වුනා. දවසක් ඔහු කැලෑවට යනකොට ඔහු දැක්කා සුරංගනාවියක්ව. මේ සුරන්ගනාවියගේ කොණ්ඩය ගහක අතු අතර පැටලිලායි තිබුනේ. තමන්ට පැටලිලා ඉන්නා තැනින් බේරෙන්න උදව් කරන්න කියලා මේ සුරංගනාවිය අර පුද්ගලයාගෙන් ආයාචනා කළා.

ටිකක් වෙලා කල්පනා කරපු ලෝභයා මෙහෙම ඇහුවා.

“හොඳයි මම ඔබව බෙර ගත්තොත් ඔබ මට මොනවද දෙන්නේ?”

“ඔබ කැමති ඕනෑම දෙයක් මම ඔබට දෙනවා. මාව මෙතනින් මුදවන්න.” සුරංගනාවිය ඉල්ලා හිටියා.

සුරංගනාවියව බේරපු ලෝභයා හරි පුදුම ඉල්ලීමක් ඉල්ලුවා.

“මම අල්ලන අල්ලන හැම දේම රත්තරන් වෙන්න වරයක් මට ලබා දෙන්න.” එයට කැමැත්ත පල කරපු සුරංගනාවිය ඔහුට එම වරය ලබා දුන්නා.

ඉතින් ලෝභයා සතුටින් උද්දාමයට පත් වෙලා තමන්ගේ වටේ පිටේ තියෙන ගල් කැට අල්ලලා බැලුවා. ඒවා බලාගෙන ඉද්දි රත්තරන් වුනා. රත්තරන් බවට හැරුණු ගල් කැට එකතු කර ගත්තු මේ පුද්ගලයා නිවසට දුවගෙන ගියේ මේ සතුටුදායක ආරංචිය තමන්ගේ බිරිඳට කියන්නයි.

ඔහු යන පෙරමගට ඔහුගේ බිරිඳ දුවගෙන ආවා. ඔහු එක් වරම ඉදිරියට පැනලා තමන්ගේ බිරිඳව තුරුලට ගත්තා. ඒ මොහොතින් බිරිඳ රත්තරන් පිළිමයක් බවට පත් වුනා.

අනේ ඉතින් මේ ලෝභ පුද්ගලයා තමන්ගේ ජිවිතේ ඉතුරු කාලය පුරාවටම කලේ අර සුරංගනාවියව හොයා හොයා ඇවිදපු එක. ඒ තමන්ට ලබා දුන්නු වරම අයින් කරලා දෙන්න කියලා ඉල්ලන්නයි. ඒත් ඔහුට ආයේ කවදාවත් ඒ සුරංගනාවියව මුණ ගැසුනේ නැහැ.

 

මෙයින් ලබා ගත හැකි ආදර්ශය

පමණට වඩා ලෝභ වීමෙන් තමන් සිටියාටත් වඩා පහල තැනකට ඇද වැටෙන්නට හේතු වේ.