මා අපයෝජනය කියන්නේ ඇඟ හිරිවට්ටවන මාතෘකාවක්. ළමා අපයෝජකයන් කියන්නේ දරුවන් පැහැරගෙන ගොස් අතවර කරන බිහිසුණු පුද්ගලයන් පමණක්ම නොවේ. ඇතැම් විට දරුවාට සමීප, දරුවාට සෙනෙහස පෙන්වන සහ ඔබ හොඳින්ම හඳුනනා පුද්ගලයන් අතරේත් ළමා අපයෝජකයෙකු සැඟවී සිටින්නට පුළුවන්. ඇත්තටම ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට කල හැක්කේ මොනවාද? අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.




  • දරුවා සහ දරුවාගේ අවට පරිසරය ගැන කල්පනාවෙන් සිටින්න

මෙහි අදහස ඔබ ඔබ වටා සිටින සෑම අයෙකු පිළිබඳවම සැක කල යුතුයි යන්න නොවේ. ඔබ පුද්ගලයන්ව සැක කිරීම වගේම සම්පුර්ණයෙන්ම විශ්වාස කිරීමත් නොකළ යුතුයි. පවුලේ සාමාජිකයන්, නෑදයන්ටත් වඩා දරුවාට ආදරය පෙන්වීමට උත්සාහ කරන, දෙමව්පියන් නැති අවස්ථා වලදී දරුවාව බලා ගැනීමට ස්වේච්චාවෙන් ඉදිරපත් වන, දරුවාට දෙමව්පියන්ට රහසින් තෑගී බෝග ලබා දෙන පුද්ගලයන් ගැන මඳක් සැලකිල්ලෙන් සිටින්න. ඇත්තෙන්ම ඔබ කල යුත්තේ කල්පනාවෙන් සිටීම පමණයි. මිනිසුන් ගැන හදිසි නිගමන වලට එළඹෙන්න එපා. ඔවුන් දරුවාට සෙනෙහස පෙන්වන්නේ ඇත්තටම සිතේ ඇති සෙනෙහස නිසා වෙන්නත් පුළුවන් බව මතකයේ රඳවා ගන්න.

  • ඔබ දරුවා ගැන සෙවිල්ලෙන් සිටින බව පිටස්තර පුද්ගලයන්ට අඟවන්න

දරුවාගේ ස්වාධීනත්වය වෙනුවෙන් දරුවාට සමහර වැඩ තනිව කිරීමට ඉඩ දීමට ඔබට සිදු වෙනවා. දරුවාව මිතුරු ඇසුරට යවන්නට ඔබට සිදු වෙනවා. නමුත් ඔබ සෑම විටම දරුවා ගැන හොඳ අවධානයකින් සහ සෙවිල්ලෙන් සිටින බව දරුවා ඇසුරු කරන පුද්ගලයන්ට අඟවන්න. දරුවාට කරදරයක් වන ලෙස දරුවා ගැන සොයා බැලීමෙන් වලකුනත්, ඒ බව ඔබ පිටස්තර පුද්ගලයන්ට ඇඟවිය යුතු නැහැ. ඔබ ඔවුන්ට ඇඟවිය යුත්තේ දරුවා සිදු කරන සෑම දෙයම, දරුවාගේ සෑම වෙනස්කමක්ම ඔබට පහසුවෙන් හඳුනා ගත හැකි බවයි.

  • සම වයසේ මිතුරු ඇසුරට දරුවාව පොළඹවන්න

මිතුරු ඇසුර කියන්නේ ඔබේ දරුවාගේ මානසික වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි තමාට වඩා වැඩිමහලු පුද්ගලයන් වෙත අසීමිතව ලඟා වෙන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා. ඔබ ඔවුන්ව වැඩි වැඩියෙන් කිට්ටු කල යුත්තේ දරුවාගේ සම වයසේ මිතුරන් වෙතයි. පාසල් වෑන් රියේ රියදුරු, පාසලේ වැඩිමහලු සිසුන්, අසල්වාසි නිවෙස් වල වැඩිමහල් පුරුෂ කාන්තා දෙපක්ෂය සමඟ වැඩි හිතවත්කම් කුඩා දරුවන්ට ඇත්තටම අවශ්‍ය නැහැ. සම වයසේ මිතුරන් වෙත සමීප වන දරුවන් ඇත්තටම හොයන්නේ මිතුරුකම පමණක් වුවත්, වැඩිමහලු පුද්ගලයන් වෙත සමීප වන දරුවන් ඔවුන්ගෙන් සොයන්නේ ආරක්ෂාව, ආදරය වැනි දේය. එසේ වීමට හේතුව වන්නේ ඔබ ලබා දෙන ආදරය සහ ආරක්ෂාව දරුවාට යහමින් නොදැනීම විය හැකියි. දරුවන් වැඩිපුර ආකර්ෂණය වන්නේ ඔවුන්ට වඩා වැඩිමහලු පුද්ගලයන් වෙත බව ඔබට වැටහෙනවා නම්, වහාම දරුවාට සමීප වන්න. ඔබේ ආදරය වැඩිපුර දරුවාට දැනෙන්නට දෙන්න.

  • දරුවා අකමැති මිනිසුන් ඇසුරු කිරීමට දරුවාට බල කරන්න එපා

ඇතැම්විට දරුවාට ඉවෙන් මෙන් වැරදි පුද්ගලයන් ගැන දැනෙනවා. නමුත් ඔවුන්ට එය දෙමව්පියන්ට පැහැදිලිව කියන්නට තේරෙන්නේ නැහැ. ඇතැම්විට තමාව තදින් අල්ලන, සිප ගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ව ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. එවැනි අවස්ථා වලදී අදාළ පුද්ගලයා ඔබේ කෙතරම් හොඳ හිතවතෙකු වුවත්, දරුවාට ඔවුන් ඇසුරු කිරීමට බල කරන්න එපා. දරුවාට ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතුවක් තිබෙන්නට හෝ නැති වෙන්නට පුළුවන්. එය දන්නේ ඔබේ දරුවා පමණයි.

  • දරුවාට තේරෙන වයසේ සිට දරුවාව දැනුවත් කර තබන්න

ලිංගිකත්වය ගැන අවබෝධයක් නොමැති දරුවෙකුව පහසුවෙන්ම අපයෝජකයෙකුට ගොදුරු කර ගත හැකි බව ඔබ විශ්වාස කරනවාද? දරුවා එවැනි අවදානමක් ගැන නොදන්නා තරමට දරුවාව රවටවා ගැනීම පහසු වෙනවා. දරුවා කැමති ආහාර ලබා දීලා, ක්‍රීඩා භාණ්ඩ ලබා දීලා දරුවාව රවටා ගැනීමට උත්සාහ කරන්නන්ගෙන් දරුවාව බේරා ගැනීමට නම් දරුවාව මුල සිටම දැනුවත් කරන්න. තමාව ස්පර්ශ කිරීමට පිට මිනිසුන්ට අයිතියක් නොමැති බව ඔවුන්ට තේරුම් කර දෙන්න.

 

SHARE