ගුරු වෘත්තීය කියන්නේ ලොව ඇති පුජනීයම වෘත්තියයි. රටක අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයක් ලෙසත් ගුරු වෘත්තීය හඳුන්වා දෙන්න පුළුවන්. දරු දැරියන් දහස් ගණනක නෙත් පාදන දෙවිවරුන් බඳු ගුරුවරුන් අතර විෂ සහිත ගුරුවරුනුත් සිටිය හැකි බව ඔබ විශ්වාස කරනවාද? දරුවන්ගේ මනසට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන, දරුණු ශාරීරික දඬුවම් වලින් දරුවන්ව යටත් කර ගැනීමට උත්සාහ කරන ගුරුවරුන් ඔබටත් මුණ ගැහිලා ඇති. ස්වභාවිකව ගෞරවය උපයා ගැනීමට අපොහොසත් වූ විට, තර්ජනාත්මකව දරුවන්ගේ ගෞරවය දිනා ගැනීමට උත්සාහ කරන මෙබඳු ගුරුවන් හඳුනා ගන්නා ආකාරය ගැන තමයි අද අපි ඉදිරිපත් කරන්නේ.




1 මේ ගුරුවරුන් ඉන්නේ කලකිරීමෙන්

අකමැති රැකියාවක නිරත වන්නට සිදු වුනාම දැනෙන මානසික පීඩනය ගැන ඔබට තේරෙනවා ඇති. ගුරු වෘත්තීය කියන්නෙත් රැකියාවක්. මේ රැකියාව කැමැත්තෙන් කරන බහුතරයක් පිරිස අතරේ, අකමැත්තෙන් කරන සුලුතරයකුත් ඉන්නවා. ඉතින් අකමැත්තෙන්, කලකිරීමෙන් තමන්ගේ රැකියාවේ නිරත වන මේ ගුරුවරුන්ගෙන් යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඇත්තටම ඔවුන් එම රැකියාව කරන්නේ මුදල් ඉපයීමේ අරමුණින් මිසක්, දරුවන්ගේ අනාගතය සුන්දර කරනවා යන අදිටනින් නම් නෙවේ.

2 මේ ගුරුවරුන් කට කතා පතුරවනවා

තමන්ගේ පංතියට උගන්වන එක පැත්තකින් තියලා, එහා පංතියේ ගුරුවරයා එක්ක කතා කර කර ඉන්න මේ ගුරුවරුන් කැමතියි. ඒ ඔවුන් ඉගැන්වීමෙන් ලබන සතුටට වඩා, සෙසු අය සමඟ කතා කර කර සිටීමෙන් සතුටක් ලබන නිසයි. තමන්ගේ ගෙදර දේවල් විතරක් නෙවෙයි ඔවුන් එහා පංතියේ ගුරුවරයා එක්ක කියන්නේ. තමන්ගේ පංතියේ ළමයින්ගේ වැරදි, තමන්ගේ පංතියේ ළමයින්ගේ දෙමව්පියෝ ගැන, ළමයින්ගේ පෞද්ගලික ප්‍රශ්න ආදියත් ඔවුන් පිටස්තර ගුරුවරුන් එක්ක බෙදා ගන්නවා. එතකොට අනිත් ගුරුවරුත් අදාළ දරුවා දිහා අප්‍රසාදයෙන් බලන්නට පෙළඹෙනවා.

3 අලුත් අදහස් ක්‍රියාත්මක කරන්නේ නැහැ

ගුරු දෙගුරු රැස්වීම් වලදී, ගුරු රැස්වීම් වලදී දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කල යුතු දේවල් ගැන මේ ගුරුවරුන් උනන්දුවෙන් කතා වෙනවා. හැබැයි ඒ කතා බහ වචන වලට පමණක්ම සීමා වෙනවා. ඔවුන් එම අදහස් කවදාවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි දරුවන්ගේ ලකුණු අඩු වීම ගැන දරුවන්ටම බැන වදිනවා.

4 අකුරට වැඩ කිරීම

තමන් දරුවන්ගේ විෂය නිර්දේශය උගන්වා අවසන් කල බව පෙන්විය යුතු නිසා, විදුහල්පතිගෙන් හෝ දෙමව්පියන්ගෙන් චෝදනාවක් එල්ල නොවිය යුතු නිසා වැනි හේතුන් නිසා මේ ගුරුවරුන්ට තමන්ට නියමිත රාජකාරිය විතරක් කරලා පාඩුවේ ඉන්නවා. හැබැයි හවස පන්තියක් දාන්න, අදක්ෂ සිසුවෙක්ට විශේෂ අවධානයක් යොදවන්න වගේ දේවල් වලට උනන්දු වෙන්නේ නැහැ. දක්ෂ සිසුන්ගේ ඉහල ප්‍රතිඵලයේ ගෞරවය ඔවුන් ලබා ගෙන, අදක්ෂ සිසුවාගේ අඩු ප්‍රතිඵලයේ වගකීම එම දරුවා පිටටම පටවනවා.

5 සුදුසු ක්‍රමවේද භාවිතා නොකිරීම

දරුවෙකුගේ සිතට පාඩමක් කා වැද්දවීමට හැකි විවිධ ක්‍රම තියෙනවා. ගුරුවරයාගේ අංග චලනයන්, හඬ, භාවිතා කරන උපමා උපමේය ආදිය මඟින් දරුවෙකුගේ හිත තුලට පාඩම ඇතුල් කරන්න පුළුවන්.  නමුත් මේ ගුරුවරුන් හැමදාමත් භාවිතා කරන්නේ එකම ක්‍රමයක් විතරයි.

උදා: පාඩම පැහැදිලි නොකර නෝට් පමණක් ලිවීමට දීම, පන්තිය වටා ඇවිදිමකින් තොරව දිගටම අසුන් ගෙන සිටීම

6 ඇතැම් දරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම හෝ අවමන් කිරීම

මේ ගණයේ ගුරුවරුන්ට හැම සිසුවෙක්ටම එක විදිහට සලකන්න හැකියාවක් නැහැ. හොඳ ගුරුවරයෙක් කවදාවත් තමන්ගේ දරුවන්ට එක එක විදිහට සලකන්නේ නැහැ. හැබැයි විෂ සහිත ගුරුවරුන් පංතියේ අදක්ෂ, මුරණ්ඩු හෝ දිළිඳු දරුවන්ට වෙනස්කම් කරනවා. පිරිසක් මැද අවමන් කරනවා. ඔවුන් කවදාවත් එවැනි දරුවන්ව උනන්දු කරවන්නේ නැහැ. මේ ගුරුවරුන් ඇතැම් දරුවන්ගේ සිත් තුලට “මම අනිත් සිසුන්ට වඩා නරකයි, අදක්ෂයි” යන සිතුවිල්ල බලෙන් ඇතුල් කරනවා.

7 දරුවන්ව ප්‍රතික්ෂේප කිරීම

දරුවන් අලුත් අත්හදා බැලීම් කරනවා. නව නිර්මාණ කරනවා. එකම උත්තරය නිර්මාණශීලි විදිහට ඉදිරිපත් කරනවා. හැබැයි මේ විෂ සහිත ගුරුවරුන් දරුවෙක් අලුත් දෙයක් ඉදිරිපත් කරන්න හදද්දිම එය ප්‍රතික්ෂේප කරලා දානවා. තමන් පෙන්වන සීමාවෙන් එහාට තමන්ගේ සිසුන් යනවාට මේ ගුරුවරුන් අකමැතියි.

 

SHARE