චූ
ටි බබාලා කොහොමත් අඬනවානේ. ඒත් අවුරුදු දෙක පහු වුනාට පස්සේ සමහර දරුවෝ නිතරම අඬන්නේ තරහෙන් වගෙයි. තමාට මොනා හරි දෙයක් ඕනේ කියලා දැනුනොත් ඒ දේ ලැබෙනකම්ම එක දිගට අඬන්න මේ දරුවෝ පසුබට වෙන්නේ නැහැ. හයියෙන් බෙරිහන් දෙන්න, තමන්ගේම ඔලුව හප්පගන්න පවා සමහර පැටව් පෙළඹෙනවා. ඇත්තටම මොකද්ද මේකට හේතුව? අද අපි myfamily.lk වෙබ් අඩවිය හරහා කතා කරන්නේ මේ පිළිබඳවයි.


දරුවන්ට තරහ යන්නේ ඇයි කියලා තේරුම් ගන්න
  • ගොඩක් මව්පියන් තමන්ගේ දරුවන් මේ විදිහට හැසිරෙද්දී කම්පා වෙනවා. තාමත් සමහර දෙමව්පියන් දරුවන් සමඟ තරහ ගන්නවා. ඒත් මේ වගේ අවස්තාවක මව්පියන් සංසුන් විය යුතුයි. දරුවා කෝපයෙන් සිටින වෙලාවට මව්පියන් කෝපයට පත් වෙලා වැඩක් නැහැ.
  • දරුවා පුංචිම කාලේදී දරුවාට කිසිම දෙයක් තනිවම කර ගන්න බැහැ. ඒ කාලය ඇතුලෙදි දරුවාගේ හැම ආශාවම ඉටු කරලා දෙන්නේ මව්පියන්. නමුත් අවුරුදු 2/3 වන විට දරුවා කියන හැම දේම මව්පියන් කරන්නේ නැහැ. දරුවාට ඕනේ ඕනේ දේවල් ලැබෙනවාට වඩා, දරුවාට දෙමව්පියන්ට කීකරු වෙන්න සිදු වෙනවා. මේ වෙනස එක වර දරා ගන්න දරුවාට අමාරු වීමයි දරුවාගේ කෝපයට හේතුව වන්නේ.
  • ඒ වගේම තමයි දරුවාට තමන්ගේ හැඟීම් පාලනය කර ගන්න තේරෙන්නේ නැහැ. තමාට අවශ්‍ය විදිහට යමක් සිදු වෙන්නේ නෑ කියලා දැනුනම ඒ වයසේ දරුවෙක් අසාමාන්‍ය ලෙස කලබල වෙන්නේ ඒ නිසයි.  
  • නමුත් එම ගැටලුවට වෙනත් විසඳුමක් නැහැ. දරුවාගේ කෝපය පාලනය කර ගැනීමටත්, මව්පියන්ට කීකරු වීමටත් දරුවාට ඉගැන්වීම අනිවාර්ය වෙනවා.

 

දරුවාව පුහුණු කරවන්නේ කෙසේද?
  • බහුතරයක් දෙමව්පියන් සිදු කරන වරදක් තමයි දරුවාගේ කෝපය සහ හැඬුම පාලනය කිරීම සඳහා අල්ලස් ලබා දීම. අල්ලස් යනුවෙන් හැඳින්වෙන්නේ දරුවා ඉල්ලන දේවල්, රසකැවිලි සහ ක්‍රීඩා භාණ්ඩ ලබා දී දරුවාව පාලනය කර ගැනීමයි. එම විසඳුම කෙටිකාලීන වන අතර, දරුවා ඊළඟ වතාවේ අරගල කරන්නේ ඊටත් වඩා දරුණු ලෙස හඬා වැටී විය හැකියි. එයට හේතුව වන්නේ කඳුළු සමඟ කෝපය පෙන්වා තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකි බව දරුවාට තේරුම් යාම නිසයි.
  • එම නිසා මෙවැනි අවස්ථාවකදී දරුවාව ආදරයෙන් පාලනය කර ගැනීමට මව්පියන් සමත් විය යුතුයි. දරුවා කෝපයෙන් හඬන විට, තමාටම රිදවා ගැනීමට උත්සාහ කරන විට දරුවාව වැළඳ ගන්න. මඳ වෙලාවක් යන විට දරුවාගේ කෝපය පහ වී යන අතර, හඬා වැටීමෙන් ලබා ගත හැකි දෙයක් නොමැති බව දරුවාට වැටහී යනු ඇත.
  • තමාගේ වාරය පැමිණෙන තුරු ඉවසන්නට දරුවාට පුහුණු කරවන්න.

උදා: අතුරුපසක් දුටු විගස එය ඉල්ලා හඬා වැටෙන දරුවෙක්ට, අතුරුපස ලැබෙන්නේ ආහාර ගැනීමෙන් පසුව බව පැහැදිලි කර දෙන්න.

ඉවසීම පුහුණු වූ දරුවෙකු වැඩිහිටියෙක් වූ පසු, තමාගේ ඉවසීමේ ශක්තිය නිසා බොහෝ ඵල ප්‍රයෝජන ලබා ගනු ඇත. එයට හේතුව වන්නේ ළමා කාලයේ ලැබෙන අත්දැකීම් දරුවාගේ මොළයේ ස්නායු අවශ්‍ය පරිදි සකසාලීමයි.

 

දරුවාට ආදර්ශමත් වන්න
  • දරුවා දෙමව්පියන්ගේ හැසිරීම දෙස බලා ඉගෙන ගන්නවා. දෙමව්පියන්ට ඉවසීමක් නොමැති නම්, දරුවන්ට ඉවසීම පුහුණු කිරීමට අපහසු වෙනවා. ඔබ දරුවාව වාහනයේ තබාගෙන සෙසු රියදුරන්ට බැන වදිමින් ඔවුන්ව පසු කර ඉදිරියට යන්න උත්සාහ කරන පියෙක් නම් ඔබ දරුවාට දෙන්නේ වැරදි ආදර්ශයක්.
  • බැංකුවේ පෝලිම වැඩි නිසා දරුවාවත් තියාගෙන ඔබ කෝපයෙන් පිපිරෙන මවක් නම්, ඔබේ දරුවාට ඉවසීම පුහුණු කිරීම ඉතා අපහසු වෙනවා.
  • පවුලේ සාකච්චා වලදී දරුවා කතා කර නිම වෙන තුරු ඔබ එය ඉවසීමෙන් අසා සිටිය යුතුයි. ඔබ දරුවා කතා කරන විට මැදින් පැන බාධා කරනවා නම්, ඔබේ දරුවාත් කතා කිරීමට තමාගේ වාරය පැමිණෙන තුරු ඉවසන්නේ නැතිව මැදින් පනිමින් කතා කරන්නට හුරු වේවි.

 

දරුවා තමාව පාලනය කර ගන්නා අවස්තා වලදී දරුවාට ප්‍රශංසා කරන්න

ප්‍රශංසාවට බාල, මහලු කවුරුත් කැමතියි. ඔබ දරුවාව ප්‍රශංසා කල විට, දරුවා තම කෝපය පාලනය කර ගැනීමට වඩාත් උත්සාහවන්ත වේවි.