පුංචි කාලේ දෙමව්පියන්ගේ වචනෙට පිටින් නොගිහින් හිටපු කීකරු දරු පැටියවම ඔවුන්ගේ යොවුන් වියේදී බලාපොරොත්තු වෙන්න ඇත්තටම බැහැ. මේ සමය දරුවන්ගේ ජිවිතයේ ඇති වන සුවිශේෂී සංක්‍රාන්ති සමයකි. ඉතින් ඔවුන් තුල කායික සහ මානසික වෙනස්කම් සීග්‍රයෙන් ඇති වෙනවා. යොවුන් වියේදී දරුවන් තුල ඇති වන වෙනස මුරණ්ඩු වීමක් ලෙස නොදැක, ස්වාධින වීමට දරන උත්සාහයක් ලෙස දැකිය හැකියි නම් දෙමව්පියන් තුල ඇති වන සන්තාපය නැති වී යන බව නම් ස්ථිරයි. ඉතින් අද අපි myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කරන්නේ මේ ගැනයි.




යොවුන් වියේ පසු වන දරුවාගේ මනස සීග්‍රයෙන් විවිධ වෙනස්කම් වලට බඳුන් වෙනවා. එය සෑම දරුවෙකු තුලම ඇති වන පෙරලියක් බව දෙමව්පියන් අවබෝධ කර ගත යුතුයි.

  • මේ වයසේ පසු වන දරුවන් දෙමව්පියන්ගෙන් නිදහස අපේක්ෂා කරනවා. ක්‍රම ක්‍රමයෙන් ස්වාධින වන්නට උත්සාහ දරනවා. දෙමව්පියන් දරුවන්ගේ සුළු සුළු කාරනා වලට මැදිහත් වීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්නට පටන් ගන්නවා.
  • අලුත් දේවල් කිරීමට කැමැත්තක් ඇති වේ. කිසිවෙකුගේ උපකාරයක් නැතිව තමාට සිතෙන දේවල් අත් හදා බැලීමට උනන්දු වේ.
  • තමාගේ රූපය ගැන වැඩි උනන්දුවක් ඇති වේ. දෙමව්පියන් විසින් නිර්දේශ කල, මෙතෙක් දරුවා පිලිපැදි ඇඳුම් මෝස්‌තර සහ හිස කෙස් විලාසිතා ප්‍රතික්ෂේප කරමින් නව විලාසිතාවන් අනුගමනය කරයි. බොහෝ විට වෙළඳ දැන්වීම් වලින් දකින, තරුණ පරපුර අතර ප්‍රසිද්ධ වීගෙන යන විලාසිතා සඳහා වැඩි කැමැත්තක් දක්වයි. නළු නිලියන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විලාසිතා අනුගමනය කිරීමට නැඹුරු වේ.
  • දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් උපදෙස් පැතීම වෙනුවට සම වයස් මිතුරන්ගෙන් උපදෙස් ගැනීම සහ මිතුරන්ගේ නිර්දේශ අනුව ක්‍රියා කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඇතැම් විට දෙමව්පියන් ලබා දෙන උපදෙස් තරයේම ප්‍රතික්ෂේප කර දමයි.

මෙවැනි ලක්ෂණ ඇති වී අවුරුදු කීපයකින් නැති වී යනවා. මේ දරුවන් වැඩිහිටි වියට පා තබන සංක්‍රාන්ති සමයයි. මේ කාලය දෙමව්පියන් තුල සතුටක් වගේම, දුකකුත් ඇති කරන කාලයක් බව පවසන්න පුළුවන්.

කුඩා දරුවෙකුට යමක් කිරීමට හෝ නොකිරීමට උපදෙසක් දුන් විට ඔවුන් ඒවා අනිවාර්යයෙන්ම පිළිපදිනවා. නමුත් යොවුන් වියේ පසු වන දරුවෙකුට එවැනි උපදෙසක් ලබා දීම පමණක්ම ප්‍රමාණවත් නැහැ. ඔබ එවැනි උපදෙසක් ලබා දෙන්නේ ඇයිද යන්න දරුවාට පැහැදිලි කිරීමත් අවශ්‍ය වෙනවා.

  • දරුවා විනෝද චාරිකාවක් යන්නට හදන අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කිරීම සුදුසු නැහැ. ඒ වෙනුවට දරුවා ආරක්ෂා විය යුතු ආකාරය ගැන දරුවාව දැනුවත් කරන්න. අපරික්ෂාකාරී හැසිරීම නිසා දරුවන් අනතුරට ලක් වන ආකාරය ගැන පවසන්න.
  • දරුවා නිවසට පැමිණිය යුතු වෙලාව ඔබ තීරණය කරනවා මෙන්ම එයට හේතුවත් දරුවන්ට පවසන්න. නිවසේ සෑම සාමාජිකයෙක්ම නිවසට පැමිණිය යුතු වෙලාව එය බවත්, එය නිවසේ සිරිත බවත්, දරුවන්ගේම ආරක්ෂාව වෙනුවෙන් එවැනි නීති පනවන බවත් පවසන්න. එමෙන්ම නීති කඩ කලොත් දරුවාට ඊළඟ දවසේ පිටතට යාමට ඉඩ ලබා නොදී සිටින්න. මෙවැනි තීරණ වල ස්ථිරව සිටින්න. මෙවැනි වයසක පසු වන දරුවන්ට නිදහස ලබා නොදීමත්, සම්පුර්ණ නිදහස ලබා දීමත් යන කාරනා දෙකම නුසුදුසුයි.
  • වැරදි පුරුදු වල නිරත වන මිතුරෙකුව දරුවාගේ ඇසුරින් ඉවත් කරන්නට නම් එයට සාධාරණ හේතු පැහැදිලි කිරීමක් කරන්න. එම මිතුරා හැසිරෙන ආකාරය ඔබේ ආගමට අනුව, රටේ නීති වලට අනුව වරදක් බව වටහා දෙන්න. එම දරුවා අනතුරක වැටිය හැකි බවත්, එවිට ඉබේටම ඇසුරු කරන මිතුරනුත් අනතුරට බඳුන් වන බවත් දරුවාට තේරුම් කර දෙන්න.

ඇතැම් විට දරුවන්ට මුරණ්ඩු වීමට හේතුව දෙමව්පියන් දරුවාගේ වරද සඟවන නිසා වෙන්නත් පුළුවන්. වරදක් කර දරුවාව පියාට හසු වූ විට මව විසින් බොරු කියා දරුවාව බේරා ගැනීම, දරුවාගේ වැරදි පාසලේ ගුරුවරුන්ගෙන් සැඟවීමට මව්පියන් උපකාර කිරීම වැනි ක්‍රියා වලින් වැලකි සිටිය යුතුයි.

 

SHARE